උතුරු පළාත තුළ අලුතෙන් සිංහල ජනාවාස බිහිකිරීමටත් බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල අලුතින් බුදු පිළිම හා බුදු මැඳුරු ස්ථාපිත කිරීමටත් විරුද්ධව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු 'දෙමළ මහජන සභාව' ලබන 24 වැනි දින යාපනය නගරයේ ස්ථාන 03කදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඊ. ආර්. එල්. එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා කියාසිටියේ උතුරු පළාත තුළ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීම නවතා දැමීම, බෞද්ධ ජනතාව නොමැති ස්ථාන තුළ අලුතින් බුදු පිළිම හා බුදු මැඳුරු ස්ථාපිත කිරීම නවතා දැමීම, ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට රජයට බල කරමින් මෙම විරෝධතාව පවත්වන බවයි.
යාපනය තිරුනෙල්වේලි, කල්වියන්කාඩු හා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
වව්නියාව, බෝගස්වැව, නාමල්ගම ඇතුළු වව්නියාව දිස්ත්‍රික්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්ක තුළ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා කියාසිටියේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම විරෝධතාවයට දෙමළ මහජන සභාවේ නායක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා, දෙමළ මහජන සභාව තුළ සිටින දේශපාලන පක්ෂ නායකයන් සහ සාමාජිකයන්, අතුරුදන්වූවන්ගේ ඥාතීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ උතුරු පළාත් ජනතාව සහභාගි වීමට නියමිත බවයි.
No comments:
Post a Comment