කොළඹ, කොටුව ජනපති මැදුර අද සිට ජනතාවට විවෘතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 8, 2016

කොළඹ, කොටුව ජනපති මැදුර අද සිට ජනතාවට විවෘතයි

කොළඹ, කොටුව ජනපති මැදුර අද සිට ජනතාවට විවෘතයි
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය සහ ගෝල්ඩන් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව අද(08) සිට ජුනි 14 වනදා දක්වා පාසල් සිසුන් ඇතුළු මහජනතාවට එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර  සමාරම්භක උත්සවය අද ප.ව 2.00 ට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි. 

ආණ්ඩුකාරවරුන් 29 දෙනෙකු සහ ජනාධිපතිවරුන් 6 දෙනෙකු තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා යොදා ගත් නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය ජනතාවට විවෘත වන්නේ ඉතිහාසයේ ප‍්‍රථම වරටය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ජනාධිපති මන්දිරය සහ අවට ප‍්‍රදේශය අධි ආරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබුණි. 

එහෙත් වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බලයට පත්වීමත් සමඟම කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප‍්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරිණි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරය සිය නිල නිවාසය වශයෙන් යොදා නොගන්නා අතර එය රාජකීය අමුත්තන් පිළිගැනීම ඇතුළු විශේෂ අවස්ථා සඳහා පමණක් යොදා ගනී.

ඒ අනුව නව දේශපාලන ගමන් මඟක සම්ප‍්‍රදාය විවර කරමින් මෙතෙක් පොදු ජනතාවට ඇතුළුවීමට නොහැකි ලෙස වසා තිබූ රජ ගෙදර දොරටු පොදු ජනතාවට විවෘත කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. 077- 3086366 දූරකතන අංකය ඔස්සේ ජනාධිපති සහකාර ලේකම්, විමර්ශන චතුරංග මහතා සම්බන්ධ කර ගැනීම මඟින් මෙය නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට සහ ජනතාවට වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජගෙදර ඉතිහාසය යටත්විජිත සමය දක්වාම දිවයන්නකි. අද රජගෙදර පිහිටි භූමිය පෘතුග‍්‍රීසි පාලන යුගයේ දේවස්ථානයකි. එක්දහස් පන්සිය පහේදී පෘතුගී‍්‍රසින් ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ කොටුවේ උසම භූමියේ ශාන්ත ෆ‍්‍රැන්සිස් දේවස්ථානය ඉදි කළහ. දේවස්ථාන අසල ෆ‍්‍රැන්සිස් පූජකාරාමයක් ද ඉදිකළ අතර එකල මියගිය පෘතුගී‍්‍රසි ප‍්‍රධානීන්ගේ මෘත ශරීර තැන්පත් කළේද මේ බිමේය.

මේ බිමෙහි  ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව දෙමහල් මැදුරක් ඉදිකළේ එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ එන්ගල් බැක්ය. කලින් කලට නවාංග එක්වූ එම මන්දිරය රජගෙදර නැමති මහා මන්දිරය ගොඩනැඟීමට පසුබිම සැකසුවේය.

එක්දහස් හත්සිය අසු දෙකේදී බි‍්‍රතාන්‍ය හමුදාව කොළඹ කොටුවට පහරදී ලන්දේසින් යටත් කර ගත්තද එන්ගල් බැක් මේ නිවසින් බැහැර නොවීය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර ෆෙඞ්රික් නෝර්ත් යටතේ රජයේ ආදායම් නිලධාරියා ලෙස සේවය කළ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි අතින් රජයේ විගණන වාර්තාව අනුව පවුම් දස දහසක් අඩු වුයෙන් ඔහුගේ බිරිද වන එන්ගල් බැක්ගේ මිණිපිරිය තම සැමියා බේරා ගැනීමේ අරමුණින් මෙම නිවෙස රජයට පවරාදීමට තීරණය කළාය.

පවුම් අටදහස් හත්සියයකට ඇස්තමේන්තු කළද ඉතිරි පවුම් ගණන අඩුකර සින්න කරගැනීමට බි‍්‍රතාන්‍ය රජය කැමති වුයෙන් එක්දහස් අටසිය හතරේ ජනවාරි දාහත් වෙනිදා මෙම නිවස රජයට පවරා ගැනුනි.

No comments:

Post a Comment

Post Bottom Ad