රෝගීන් දැනගත යුතුම පුද්ගලික රෝහල්වලට දැමූ කොන්දේසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

රෝගීන් දැනගත යුතුම පුද්ගලික රෝහල්වලට දැමූ කොන්දේසි

පෞද්ගලික රෝහල් සහ රෝගී සත්කාරක සේවා (චැනල් සේවා) විසින් වෛද්‍ය පරීක්ෂාවක් සඳහා රෝගියකුගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙදහසක උපරිමයකට යටත් කෙරෙන චක්‍රලේඛය ක්‍රියාත්මක බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය උපදෙස් පතා පුද්ගලික රෝහල් සහ සායන වෙත යන රෝගීන්ගෙන් අධික ගාස්තුවක් අය කරනු ලබන බවට ලැබුණු පැමිණිලි දෙස අවධානය යොමු කොට ඉහත කී නියාමනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ක්‍රියාමාර්ගයට වෛද්‍යවරුන්ගේ විරෝධය එල්ල වූ නමුත් එය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍යය අමාත්‍යංශය පියවර ගත් බවත් ඊට අවනත නොවන පෞද්ගලික රෝහල් තහනම් කිරීමට කටයුතු කරන බවත් පැවැසූ අමාත්‍යවරයා අදාළ චක්‍රලේඛය සියලුම පෞද්ගලික රෝහල් වෙත යවා ඇති බවත් කියා සිටියේය.

රුපියල් දෙදහසේ උපරිම ගාස්තුව තවත් අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළ අතර පෞද්ගලික රෝහල් වෙත යන රෝගියකු වෛද්‍යවරයකු විසින් අවම වශයෙන් විනාඩි 10 ක් පරීක්ෂා කළ යුතු බව චක්‍රලේඛයට අයත් බවත් අමාත්‍යවරයා පවසා සිටියා. අදාළ නියාමන ක්‍රියාත්මක නොකරන පෞද්ගලික රෝහල් පිළිබඳ රෝගීන්ට සෞඛ්‍යය අමාත්‍යංශයට පැමිණිලි කළ හැකි බවද ඔහු සඳහන් කළා.

මේ අතර රෝහලකදී රෝගියකු ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීමෙන් අනතුරුව අදාළ වෛද්‍යවරයා එම ස්ථානයේ පැයක් හෝ පැය එක හමාරක කාලයක් රැඳිය යුතු බවට නියාමනයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන් රෝහලක් තුළ ශල්‍යකර්මයක් සිදු කොට කෙටි කාලයක් ඇතුළත වෙනත් රෝහලක් වෙත ගොස් තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමේ ප්‍රවණතාවක් පවතින බැවින් රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් පවතින අවදානම සැලකිල්ලට ගෙන ඉහත නියාමනය ගෙන ඒමට සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මැයි 02 වනදා සිට ඉහළ දැමීමට නියමිත වැට් බද්දට බලපාන සේවා සඳහා පෞද්ගලික රෝහල් ද ඇතුළත් වන බවත් ඒ හරහා ලැබෙන ආදායම රජයේ රෝහල් වැඩිදියුණු කිරීම සඳහා යොදා ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad