ට්‍රාන්ස්ෆෝමරය පිපිරීමට වසරකට පෙර, දැනුම් දී තිබූ බව හෙළි වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

ට්‍රාන්ස්ෆෝමරය පිපිරීමට වසරකට පෙර, දැනුම් දී තිබූ බව හෙළි වේ

දිවයිනටම විදුලි සැපයුම අක්‍රීය කරමින් පුපුරා ගිය අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයට සම්බන්ධ බියගම විදුලි ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියා කළ යුතු බවට එය බාර ප්‍රධාන ඉංජිනේරුවරයා විදුලි බල මණ්‌ඩල සාමාන්‍යාධිකාරිවරයාට මීට වසරකට පෙර දැණුම් දී තිබූ බව වාර්තා වේ.

එම දැනුම්දීම නොතකා හැරීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙන අතර විදුලිබල මණ්‌ඩල සාමාන්‍යාධිකාරිවරයා බියගම ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යනතුරුම ගත යුතුව තිබූ පියවර නොගැනීම පිළිබඳව ඊයේ (16) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද විශේෂ අවධානයකට ලක්‌කර තිබේ.

අදාළ ට්‍රාන්ස්ෆෝමරය වසර 30 කට වඩා පැරණි බව විදුලි බල මණ්‌ඩලයේ සභාපති අනුර විඡේපාල මහතා සඳහන් කරන නමුත් විශේෂඥයින් පවසන්නේ නිසි නඩත්තුවක් සහිත නම් ට්‍රාන්ස්ෆෝමරයක් වසර 60ක් වුව භාවිත කළ හැකි බව යි.

මේ අතර හදිසි විදුලි බිඳවැටීමකදී අක්‍රීය වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ස්‌වකීය ආරක්‍ෂක පද්ධතිය යළි පණ ගැන්වීම කෙටි කාලයක්‌ තුළ සිදුකළ හැකි තාක්‍ෂණික ක්‍රමවේද තිබිය දී එය මෙතෙක්‌ ක්‍රියාත්මක කර නොමැති බව ද ඉදිරියේ දී එම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද බියගම ලැබුම් පොළේ ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියා කිරීම පැහැර හැරිය විදුලි ඉංජිනේරුවරයාට එරෙහිව පරීක්‍ෂණ පවත්වන බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූ බව පැවසේ.

සති දෙකක්‌ වැනි කාලයක්‌ තුළ දෙවැනි වතාවටත් රටපුරා විදුලිය බිඳ වැටීම, එය යථා තත්ත්වයට පත්කිරීමට ගතවූ කාලය හා නොරොච්චෝල බලාගාරය අක්‍රීයවීම ආදි කාරණා සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් කෝප් කමිටුව හමුවටද කැඳවා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad