බුදුන් වහන්සේ ක්‍රි.පූ. 6 වෙනි සියවසේදී වැඩ සිටියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2013

බුදුන් වහන්සේ ක්‍රි.පූ. 6 වෙනි සියවසේදී වැඩ සිටියා

නව විද්‍යාත්මක පර්යේෂණයක් ලොවට හෙළි කරයි
' බුදුන් වහන්සේ ගැන වැළලුණු රහස් 'වාර්තා චිත්‍රපටය පෙබරවාරියේ

නේපාලයේ, බුදුරදුන්ගේ උත්පත්ති ස්ථානයේ තිබී හමුවී ඇති මෙතෙක් කලක් නොදත් දාරුමය ගර්භයක නටබුන්වලට අනුව, උන්වහන්සේ ක්‍රි.පූ. 6 වන සියවසේදී ජීවත්ව සිටි බවත් එය මෙතෙක් සිතා සිටි කාලයට වඩා සියවස් දෙකක් කලින් සිදුව ඇතැයි පෙනී යන බවත් පුරාවිද්‍යාඥයෝ පෙරේදා ප්‍රකාශ කළහ.

නේපාලයේ ඉන්දීය දේශසීමාසන්න ලෝක උරුමයක් වන ලුම්බිනියේ පිහිටි පූජනීය මායාදේවි විහාර භූමියේ ගඩොලින් ඉදි කළ දාගැබක් යට තිබී මේ ඉපැරැණි දාරුමය ගර්භයේ සුන්බුන් හමුවී ඇත.

ඒ මත ඉදිව ඇති අශෝක දාගැබට සමාන හැඩහුරුවක් පිළිබිඹු කරන මේ ගර්භය විවෘත භූමියක පැවැති බවත් ඒ මත වෘක්ෂයක් වැඩී තිබුණු බව පෙනෙන අතර එය බුදුරදුන් උත්පත්තිය ලත් ස්ථානයේ පැවැති වෘක්ෂය විය හැකි බවත් ප්‍රකාශ කර තිබේ.

මෙය බුදුරදුන්ගේ උත්පත්ති කාලය පිළිබඳ දිගුකාලීන සංවාදයකට මුල් වි යහැකි බව පුරාවිද්‍යාඥයෝ පවසති. මායාදේවිය විසින් සිද්ධාර්ථ කුමරුන්ට උපත ලබා දෙන ලද්දේ

ලුම්බිනියේ සල් උයනේ සල් ගසක් යට බව පිළිගැනෙන්නකි. මෙය මුඛ පරම්පරාගතව පැවැත එන්නක් නමුදු ඒ සඳහා විද්‍යාත්මක සාධක මෙතෙක් හමුව නැති බව ද පුරාවිද්‍යාඥයෝ පවසති. විද්වත් මතය වී ඇත්තේ බුදුන් වහන්සේ ක්‍රි.පු. 4 වන සියවසේ ජීවත් වූ අතර 80 වසරක් ආයු වැළඳූ බවය.

රොබින් කොනින්හැම් නමින් හැඳින්වෙන පුරාවිද්‍යාඥයා ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේ උපත ලත් ස්ථානයේ සිදුකළ කැණීම්වලින් සොයා ගත් මේ දාරුමය ගර්භයේ නටබුන්වලට අනුව උන්වහන්සේ ජීවත්ව ඇත්තේ ක්‍රි.පූ. 6 වන සිය වස තරම් ඈතදී බවය. 

එම භුමියෙන් සොයා ගත් දැව අඟුරු කොටස් හා වැල්ලේ කාල නිර්ණය පිණිස රේඩියෝ කාබන් ක්‍රමය හා සංදීප්ත තාක්ෂණය යොදා ගත් බව ඔහු පවසා ඇත. තවද ගර්භය අවට විවෘත පෙදෙසේ වෘක්ෂ මූලයන් පැවැති බව භූගෝල විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු ව ඇත.

වොෂින්ටනය පදනම් නැෂනල් ජියෝග්‍රැෆික් සංගමයේ ආධාර ඇතිව පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් ලුම්බිනියේ සිදු කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මෙහයවා ඇත්තේ රොබින් කොනින්හැම්ය. 

නැෂනල් ජියෝග්‍රැෆික් සංගමය ‍මේ සොයා ගත් තොරතුරු පදනම් ක රගත් "බුදුන් වහන්සේ පිළිබඳ වැළලුණු රහස් "නමින් යුත් වාර්තා චිත්‍රපටයක් පෙබරවාරි මාසයේ විකාශනය කිරීමට අදහස් කර ඇති බව ද පැවැසේ.

No comments:

Post a Comment

Post Bottom Ad