රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි




පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින්  ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා  බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.


මෙම ප්‍රථම අද මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.


මෙහිදී පෙත්සම්කාර  රියාජ් බදියුදීන් මහතා  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව හදිසි අවශ්‍යතාවක් මත ගොනු කර තිබෙන හෙයින් එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියා.


ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදානදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළා.


මේ බව දැනුම් දෙමින් වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කලා.


එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා.

 

පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වන දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවයි.


අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින්

 තමන්ට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් මහතා එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන්රී මුදාහැරීමට

 එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බවද පවසනවා.


එසේ තිබියදීත් දේශපාලන හේතූන් මත තමන්ව යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව විසින් බලපෑම් එල්ල කරමින් සිටින බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ හේතුවෙන් තමාව යළි අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව තිබෙන බවයි  පෙන්වා දෙන්නේ.


මේ හේතුවෙන් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට යළි අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ ආඥාවක් සහ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදුයුදීන් මහතා විසින් මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා


No comments:

Post a Comment

Post Bottom Ad