සිලෝන් ටී නාමයෙන් කසළ තේ කන්ටේනර් 252ක් ඉරාකයට යවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 28, 2020

සිලෝන් ටී නාමයෙන් කසළ තේ කන්ටේනර් 252ක් ඉරාකයට යවලා



මහා පරිමාණ “කසළ තේ“ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විසින් රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බව වාර්තා වේ.

මෙරට ක්‍රියාත්මක වූ මහ පරිමාණ “කසළ තේ“ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රේගු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

එම තොරතුරුවලට අනුව 2017 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් කාලය දක්වා මෙරටින් “කසළ තේ“ කන්ටේනර් 252ක් ඉරාකයට අපනයනය කර ඇති බව වාර්තා වේ.

එක් කන්ටේනරයකින්  “කසළ තේ“ කිලෝග්‍රෑම් 18,000ක් මෙලෙස අපනයනය කර ඇති අතර “සිලෝන් ටී නාමයෙන්“ එය ඉරාකයේ වෙළෙඳපොළ ට ලබාදී ඇති බව ද රේගුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කොහුබත් අපනයනය කරන මුවාවෙන් අදාළ ජාවාරම්කරුවන් විසින් මෙම “කසළ තේ“ ඉරාකයට අපනයන කර ඇති අතර අදාළ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවට රේගුව විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය.

අදාළ පුද්ගලයා දිගින් දිගටම රේගුව මගහරිමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ද රේගුව විසින් පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් අදාළ ජාවාරම්කරු මේ වන විටත් රේගු දෙපාර්තමේන්තුවේ “කසළ තේ“ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන "අවදානම් කළමනාකරණ ඒකකයේ" නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනුකර ඇති බව වාර්තා වේ.

“කසළ තේ“ ජාවාරම සම්බන්ධයෙන් රේගුව විසින් සිදුකරනු ලබන විමර්ශන අත්හිටුවා ගැනීම සහ එහි සුළමුල අනාවරණය කරගැනීම නතර කරගැනීම මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අරමුණ වන බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad