සජිත් පිල අරන් ගිය යතුරු රනිල් යළි අරගනී - ගම්මන්පිල යූටර්න් ගහයිද ? - මෛත්‍රීගේ ‌ගෙදරට ‌වෙන්න යන ‌දේ : පසුගිය සතියේ රාජ්‍ය රහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

සජිත් පිල අරන් ගිය යතුරු රනිල් යළි අරගනී - ගම්මන්පිල යූටර්න් ගහයිද ? - මෛත්‍රීගේ ‌ගෙදරට ‌වෙන්න යන ‌දේ : පසුගිය සතියේ රාජ්‍ය රහස්

පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අපි වසර 25කට පසු එක්සත් ජාතික පක්ෂයට අලුත් විපක්ෂ නායකයකු පත්වූ සිදුවීමේ තිරය පිටුපස සම්පූර්ණ කතාව පාඨකයන් හමුවට රැගෙන ඒමට පියවර ගත්තෙමු. එහිදී අප රාජ්‍ය රහස් තීරය අවසන් කළේ සජිත්ගේ විපක්ෂ නායකත්වය පිළිගනිමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත නිල ලිපිය යොමුකළ බවත්, කතානායකවරයා එම ලිපිය නිල වශයෙන් පිළිගත් බවත් සඳහන් කරමිනි. එමෙන්ම පාර්ලිමේන්තුව යළි කැඳවන ජනවාරි 03 වැනි දින නිල වශයෙන් සජිත්ව විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කරන බවත්, කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබූ බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. 

කතානායකගේ ලිපියෙන් සජිත් පිල කැළඹෙයි
කෙසේ වෙතත් කතානායකවරයාගේ මෙම ලිපියේ අඩංගුව තිබූ එක් විශේෂ වගන්තියක් හේතුකොටගෙන සති අන්තය වන විට සජිත් පාර්ශ්වය කිසියම් කැලඹීමකට පත්ව සිටි ආකාරයක් දැකගන්නට තිබිණ. එම විශේෂ වගන්තිය වූයේ සජිත්ව විපක්ෂ නායකවරයා ලෙස පිළිගැනීමට පාර්ලිමේන්තුව නැවැත රැස්වන ජනවාරි 03 වැනි දින තෙක් සිටිය යුතු යැයි යන්නය. මේ හේතුවෙන් බ්‍රහස්පතින්දා (12දා) රැස්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථාදායක සභා රැස්වීමට විපක්ෂ නායකවරයා වශයෙන් සජිත්ට අසුන් ගැනීමට නොහැකි වීම මෙම කැලඹිල්ලට හේතුවී තිබිණ. ප්‍රේමදාස පාර්ශ්වයේ ස්ථාවරය වූයේ ස්ථාවර නියෝග අනුව 12 වැනිදා පැවැත්වීමට නියමිත ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සජිත්ටද සහභාගි විය හැකි යැයි කියාය. එමෙන්ම මෙසේ 03 වැනිදා දක්වාම පාර්ලිමේන්තුව කල්දැමීම රනිල් – මහින්ද ඩීල් එකක් මත සිදුවීවක්ද යන්න පිළිබඳවද එහිදී සජිත් පාර්ශ්වය තුළ දැඩිව කතාබහට ලක්විය. මන්දයත් දැනට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව කියැවෙන්නේ ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු නැවැත ජනපති බලතල අනුව පාර්ලිමේන්තුව බොහෝ දුරට මාස දෙකකට කල් දැමීමට ආණ්ඩුවේ සැලැස්මක් තිබෙනවා යැයි කියාය. එසේ වුවහොත් සජිත්ට මෙම පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයා වශයෙන් නිල වශයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වනු ඇති බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණ.

සජිත් පිලෙන් කතානායකට ඇමතුම්
මෙම තත්ත්වය මත රංජිත් මද්දුමබණ්ඩාරත්, එරාන් වික්‍රමරත්නත්, අජිත් පී. පෙරේරාත් කතානායකවරයාට කතාකොට කියා සිටියේ ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගි වීමට හැකිවනු පිණිස සජිත්ව නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පිළිගන්නා ලෙසය. නමුත් කරු ඊට එකඟතාව පළකළේ නැත. පවතින සම්ප්‍රදාය සහ නීතිය පැහැදිලි කරමින් කරු කියා සිටියේ එවැනි සම්ප්‍රදායක් පාර්ලිමේන්තුව තුළ නැතැයි කියාය. එහි කිසිම කුමන්ත්‍රණයක් නැති බවද කරු මෙම පිරිසට පැහැදිලිව දැනුම්දී සිටියේය. නමුත් කරුගේ ස්ථාවරයට එරෙහිව යමින් නැවැතත් මොවුන් සජිත්ව විපක්ෂ නායකයා ලෙස පිළිගන්නා ලෙසත්, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ කාරක සභා කැඳවන ලෙසත්ය. නමුත් එයද ප්‍රතික්ෂේප කරමින් කතානායකවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමෙන් පසුව එසේ කමිටු කැඳවීමේ සම්ප්‍රදායක් නොමැති බවකි. 

අජිත්-එරාන්‌ගෙන් කතානායකට බලපෑම්
මේ අනුව පසුගිය සතිය ආරම්භයේදීම එරාන් සහ අජිත් පෙරේරා ගොස් කතානායකවරයා මුණගැසීමට පියවර ගත්හ. එහිදී ඔවුන් දෙදෙනාම කලින් දුරකතනයෙන් කතාකළ පරිදිම කියා සිටියේ 12 වැනිදා පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවට සජිත්ව කැඳවන්න යැයි කියාය. එහිදී එරාන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පැත්තත්, අජිත් පෙරේරා නීතිමය පැත්තත් කරුට පෙන්වා දීමට කටයුතු කළද කරුගේ ස්ථාවරය වී තිබුණේ එවැනි කිසිදු සම්ප්‍රදායක් නැතැයි යන්නය. 

“ඔබතුමාල වගේම මමත් නීති උපදෙස් අරන් තියෙන්නෙ. අපිට මෙතැනදි පක්ෂග්‍රාහී වෙන්න බෑ. මොකද අපි හැම වෙලාවෙම කතා කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මොන වැඩක් කළත් අපි කරන්න ඕනෙ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්. ඒ හින්දා ව්‍යවස්ථාදායක සභාවට සජිත්ව කැඳවන්න මට නීතිමය බලයක් නෑ…” යනුවෙන් කරු පැහැදිලි කළද එරානුත්, අජිතුත් දිගින් දිගටම කතානායකවරයාට බලකරමින් සජිත්ව පිළිගන්නා ලෙස කියා සිටීම නිසා අවසානයේදී කතානායකවරයාටද කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.

“ඔබතුමාල මට බලපෑම් කරගෙන එන්න එපා. මම හරි දේ හරි විදිහට කරන කෙනෙක්. ඒක මුළු රටම දන්නවා. ඒ හින්ද මට වැරැදි දේ කරන්න බෑ. ඒක නිසා ඔබතුමාල මේ දවස් ටික ඉවසන්න.” යනුවෙන් කියමින් කතානායකවරයා එම සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේය.

සජිත් පිල අරන් ගිය යතුරු රනිල් යළි අරගනී
මේ පසුබිම යටතේ පාර්ලිමේන්තුව තුළ සජිත්ව නිල වශයෙන් කතානායකවරයා ලෙස පිළිගැනීම කල්ගියද සජිත් පිල නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගෙන් පැමිණි යෝජනාවකින් කියැවුණේ පක්ෂය මඟින් දැනටමත් සජිත්ව විපක්ෂ නායකවරයා ලෙස පිළිගෙන ඇති නිසා කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 පිහිටි විපක්ෂ නායක කාර්යාලය භාරගන්නා ලෙසටය. සජිත් පිලේ මන්ත්‍රිවරුන් එසේ යෝජනා කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවීමට සජිත් පාර්ශ්වයට ඉඩ ලබා නොදීමත්, එම කණ්ඩායමට මාධ්‍ය සාකච්ඡා තැබීම සඳහා නිශ්චිත ස්ථානයක් නොමැති වීමත් යන කරුණු කාරණා මුල්කරගෙනය. ඒ අනුව සජිත් පිල නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිපදෙනකු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම්වරයා ලෙස කටයුතු කළ නවුෆර් රහුමාන් මහතා මුණගැසී විපක්ෂ නායක කාර්යාලයේ යතුරු ලබාගැනීමට කටයුතු කර තිබිණ. ඒ අනුව ඔවුන් සූදානම් වූයේ මෙසේ විපක්ෂ නායක කාර්යාලයේ යතුරු ගෙන එහි ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා සජිත් යටතේ විපක්ෂය පණගැන්වීමේ කාර්යභාරය ආරම්භ කිරීමටය. 

සජිත්ට යන්න ‌වෙන්නේ රනිල්ගේ ‌ලේකම් එක්ක
නමුත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වැළකී ගියේ මෙසේ සජිත් පිලේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම්වරයා වන නවුෆර් මුණගැසී විපක්ෂ නායක කාර්යාලයේ යතුරු රැගෙනගොස් ඇති බවට රනිල් වෙත තොරතුරු වාර්තා වීමත් සමඟය. ඒ අනුව වහාම නවුෆර්ට කතා කළ රනිල් දැනුම්දී සිටියේ තවමත් සජිත්ට විපක්ෂ නායකකම නිල වශයෙන් ලබාදී නැති නිසා ඔහුට විපක්ෂ නායක කාර්යාලයේ යතුරු ලබාදිය නොහැකි බවත්, වහාම එම යතුරු ඔහුගෙන් ලබාගැනීමට කටයුතු කරන ලෙසත්ය. ඒ අනුව නවුෆර්ද කළේ රනිල්ගේ දැනුම්දීම අනුව අදාළ යතුරු නැවැත වතාවක් සජිත් පාර්ශ්වයෙන් ලබාගැනීමට කටයුතු කිරීමය. මේ අනුව විපක්ෂ නායක කාර්යාලයේ විපක්ෂ නායකවරයා වශයෙන් වැඩ භාරගැනීමේ අවස්ථාව රනිල්ගේ මේ වැඩපිළිවෙළ නිසා අවුල් වී ගිය ආකාරයක් දැකගන්නට තිබිණ.

එමෙන්ම විපක්ෂ නායක ධූරයෙන් රනිල් ඉවත්වීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව සිදුකර තිබූ තවත් රහස් වැඩක්ද පසුගිය සතියේ සජිත් පිලට වාර්තා වී තිබිණ. ඒ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම්වරයා වූ නවුෆර් රහුමාන් මහතාගේ තනතුර කැබිනට් පත්‍රිකාවක් මඟින් ස්ථිර කිරීමට කටයුතු කර තිබීමය. නවුෆර් රහුමාන් යනු පසුගිය කාලය පුරාම රනිල්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කළ තැනැත්තාය. ඒ අනුව රනිල් මහින්දට කතාකොට කර තිබූ ඉල්ලීමකට අනුව මහින්දද කැබිනට් පත්‍රිකාවක් මඟින් නවුෆර්ගේ තනතුර ස්ථිර කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව රනිල් විපක්ෂ නායක ධුරයෙන් ඉවත්ව සජිත් විපක්ෂ නායක ධුරයට පත්වුවද ඉදිරියේදී සජිත්ට සිය ලේකම්වරයා ලෙස වෙනත් පුද්ගලයකු පත්කර ගැනීමට නොහැකි අතර, රනිල් යටතේ සිටි ලේකම් නවුෆර් සමඟම සජිත්ට සිය ධුරයේ කටයුතු කිරීමට සිදුව තිබීම විශේෂ සිදුවීමකි.

සජිත්ට එළියට එන්න බලපෑම්
කෙසේ වෙතත් පසුගිය සතිය ආරම්භ වන විටත් සජිත් සිටියේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු සිටි නිහඬතාවයෙන් යුක්තවමය. මේ නිසා මුල් දින කිහිපයේ නිහඬව සිටියත්, පසුව සජිත් කණ්ඩායමේ මන්ත්‍රිවරුන් සජිත්ගේ මේ නිහඬ බවට එතරම් ප්‍රසාදයක් දක්වන ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.ඒ අනුව පසුගිය සතිය ආරම්භ වන විට එම පිලේ මන්ත්‍රිවරුන් සජිත්ට දැඩිව බලපෑම් කරමින් කියා සිටියේ මුළුගැන්වී සිටි කාලය ඕනෑවටත් වැඩි බවත්, වහාම එළියට බැස සජිත් වෙනුවෙන් ඡන්දය ලබාදුන් ලක්ෂ පනහකට අධික ජනතාව වෙනුවෙන් පෙනීසිටිය යුතු බවත්ය. ඒ අනුව පළමුව යෝජනා වූයේ සියලුම මහනායක හිමිවරුන් මුණගැසී උන්වහන්සේලා සමඟ සාකච්ඡා කොට නැවැත සක්‍රිය දේශපාලනයට අවතීිර්ණ වීමටත්, ඉන් අනතුරුව අනුරාධපුර රුවන්වැලිසෑය සහ ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන රට පුරා රැස්වීම් මාලාවක් ආරම්භ කිරීමටත්ය. නමුත් මුල් අවස්ථාවේදී ඊට සජිත්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණත් අවසානයේදී සජිත් නැවැත වතාවක් ජනතාව අතරට පැමිණ සිය දේශපාලන වැඩකටයුතු ආරම්භ කිරීමට තීන්දු කළේය. 

යන්න සිටි රනිල් ආපහු හැරෙයි
මේ අතරතුරේ සජිත් පිලට ලැබී තිබුණු තවත් රහස් තොරතුරකින් කියැවුණේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පත්කරනු ලැබ තිබූ සයපුද්ගල කමිටුව මඟින් ගන්නා තීන්දුවට අනුව තමන් කටයුතු කිරීමට සූදානම් බව රනිල් මුලින් ප්‍රකාශ කර තිබුණත්, පසුව එම තීන්දුව වෙනස්කොට හොඳින් හො නරකින් තව අවුරුදු දෙකක් පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට රනිල් තීන්දු කොට ඇති බව ඔහුගේ සමීපතමයින්ට දැනුම්දී ඇති බවක්ය. එය සහතික වන ආකාරයේ ඉඟි දෙකක් රනිල්ගේ පාර්ශ්වයෙන් පසුගිය සතිය වන විට මාධ්‍ය හරහා නිකුත් වී තිබිණ. ඉන් පළමුවැන්න වූයේ කිසිදු මන්ත්‍රිවරයකුට ඉදිරි මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක මාරු කළ නොහැකි බවට පක්ෂ නායකයා විසින් අකිලට උපදෙස් ලබාදී ඇති බවට පළවූ මාධ්‍ය වාර්තාවය. මෙම මාධ්‍ය වාර්තාව පළවීමට හේතුව වූයේ බදුල්ලේ මන්ත්‍රිවරයකු වන හරීන් ප්‍රනාන්දු ජෝන්ගෙන් හිස් වන ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙන බවටත්, සජිත් හම්බන්තොටින් ඉවත්ව මැදකොළඹට පැමිණෙන බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරගොස් තිබූ නිල නොවන ආකාරයේ කටකතාය. ඒ අනුව රනිල්ගේ පැත්තෙන් පලවුණු පුවතින් කියැවුණේ කිසිදු මන්ත්‍රිවරයකුට දිස්ත්‍රික්කය මාරුකළ නොහැකි බවත්, අවශ්‍ය නම් දිස්ත්‍රික්කය ඇතුළත ආසන පමණක් හුවමාරු කරගත හැකි බවත්ය. 

දෙවැනි ඉඟිය වූයේ ලබන මහ මැතිවරණය රනිල්ගේ නායකත්වය යටතේ පවත්වන බවට වජිර විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී නිකුත් වූ ප්‍රකාශයය. ඒ අනුව පැහැදිලිවම මහ මැතිවරණය දක්වා පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට රනිල් සැලැසුම් කර ඇති බවත්, නායකත්වය වෙනස් කිරීමට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බවටත් සජිත් පිලට වැටහීගොස් තිබිණ. 

ඒ අනුව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන කමිටුවේ පළමු රැස්වීම බදාදා (11දා) පැවැත්වීමට ප්‍රථම අඟහරුවාදා රාත්‍රියේ සජිත්ගේ නිවෙසේ එම කණ්ඩායම හමුවීමට පියවර ගත්හ. එහිදී සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පදනම් වූයේ රනිල් තවදුරටත් නායකත්වයේ සිටින බවට වූ ස්ථාවරය මතය. ඒ අනුව සියලු දෙනාම සජිත්ට දැඩිව බලපෑම් කරමින් කියා සිටියේ තවදුරටත් නිහඬව සිටීම සජිත්ට දැඩි අවාසිසහගත බවත්, නිහඬව ඉන්න ඉන්න රනිල් පක්ෂය තුළ ශක්තිමත් වන බවත්ය.

සජිත් අගහරුවාදා ‌කොලොන්නාවෙන් එළියට එයි
මෙසේ අදහස් පළවීමෙන් පසු අවසානයේදී දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් සංවිධානය කළ යුතු බවට වූ යෝජනාවට සජිත්ට එකඟ නොවී සිටීමට නොහැකි විය. එය කල් නොයවාම වහාම ආරම්භ කිරීමටත්, කොළඹින් ආරම්භ කොට රට වටාම එම රැස්වීම් මාලාව පැවැත්විය යුතු බවටත් තීන්දු විය. ඊට එකඟතාවය පළකරමින් සජිත් කියා සිටියේ එසේ නම් එක් දිනකට එක් දිස්ත්‍රික්කයක ආසන හතර බැගින් ආවරණය කිරිමට තමන් සූදානම් යැයි කියාය. ඒ අනුව රැස්වීමේ සිටි මරික්කාර්, එසේ නම් පළමු රැස්වීම තමන් නියෝජනය කරන කොළොන්නාවේ සූදානම් කිරීමට තමන් සූදානම් බව කියද්දී සජිත්ගෙන් ඊට පළ වූයේ ධනාත්මක ප්‍රතිචාරයකි. ඔහුගේ ඉල්ලීම පිළිගැනීමට සජිත් කටයුතු කළේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සජිත්ට අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂය තුළ ගෙනගිය සටනට විශාල දායකත්වයක් මරික්කාර් විසින් සපයා දී තිබීම නිසාය. ඒ අනුව පළමු රැස්වීම ලබන අඟහරුවාදා (17දා) පස්වරු 1.30ට කොළොන්නාවේ පැවැත්වීමටත්, ඉන් අනතුරුව කෝට්ටේ සහ මොරටුවේ යන ආසනවල රැස්වීම් පැවැත්වීමටත් සජිත් තීන්දු කළේය. ඉන් අනතුරුව අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර, මොනරාගල යනාදී වශයෙන් රට වටා යෑමටද සජිත් එහිදී තීන්දු කළේය. 

රංජිත්ගේ ‌ගෙදර රනිල්ට-කරුට විරෝධයක්
ඊළඟට පිරිස සාකච්ඡා කළේ නායකත්වය පිළිබඳව කතා කරන කමිටුවේදී සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳවය. එහිදී දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඔවුන් තීන්දු කළේ රනිල්ගේ නායකත්වය නියත වශයෙන්ම වෙනස් විය යුතු බවටත්, යම් හෙයකින් නායකත්ව මණ්ඩලයක් පිළිබඳව යෝජනාවක් පැමිණියහොත් ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ වීමටත්, ඊට අමතරව කරු ජයසූරිය මහතාට නායකත්වය පැවරිය යුතු බවට යෝජනාවක් පැමිණියහොත් ඊටද විරෝධය පළකිරීමටත්ය. 

රවිට ආපු කතාවට සජිත් විරුද්ධ ‌වෙයි
මීට අමතරව එහිදී තවත් එක් යෝජනාවක්ද පැමිණියේය. ඒ, නායකත්වයෙන් රනිල් ඉවත් කරන අතරතුරම උප නායකයා වශයෙන් කටයුතු කරන රවි කරුණානායකවද එම තනතුරෙන් ඉවත් කිරීමටය. එම යෝජනාවට එහි සිටි ඇතැමුන් එකඟතාව පළකළද සජිත් පැහැදිලිවම ඊට විරෝධය පළ කළ ආකාරයක් එහිදී දැකගත හැකි විය. සජිත් කියා සිටියේ තමන්ට එම යෝජනාවට කිසිසේත්ම එකඟ විය නොහැකි බවත්, තමන් නායකත්වය ගන්නේ නම් සියලුදෙනාම එකතු කරගෙන එකට යන වැඩපිළිවෙළක් සකස් කරනවා විනා එක් එක් පුද්ගලයන් ඉවත් කොට ගමනක් යාමට තමන් සූදානම් නැති බවත්ය. රවි සම්බන්ධයෙන් ආ යෝජනාව ඒ සමඟම යටපත් වූ ආකාරයක් දැකගන්නට හැකි විය. ඒ අනුව අවසානයේ තීන්දු වූයේ පක්ෂය තුළ සම්පූර්ණ වෙනසක් සිදුවුවහොත් මහ මැතිවරණය ජය ගැනීමේ අපහසුතාවක් නොමැති බවටත්, එය ජයග්‍රහණය කරා යෑමට නම් සජිත්ගේ නායකත්වය යටතේ රවි, ලක්ෂ්මන් කිරිඇල්ල යන දෙදෙනාට නියෝජ්‍ය නායකත්ව ධුර ලබාදිය යුතු බවටත්, උප නායකත්වය නවීන්ට ලබාදී අලුත් සභාපතිවරයකු සහ අලුත් මහලේකම්වරයකු යටතේ පක්ෂයට අලුත් මුහුණුවරක් ලබාදිය යුතු බවටත්ය. 

සිරිකොතේදී අකිලට විරෝධය
බදාදා දිනයේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන කමිටුව සිරිකොතේදී උදේ 10.00ට රැස්වූයේ මෙවැනි පසුබිමක් යටතේය. ඊට රනිල් පිල නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහාචාර්ය ආශු මාරසිංහ සහභාගිව සිටි අතර සජිත් පිල නියෝජනය කරමින් ඊට සහභාගිව සිටියේ රන්ජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම සහ තලතා අතුකෝරාලය. මෙම සාකච්ඡාවලදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සාකච්ඡාව පුරාම කිසිදු එකඟතාවකට එළැඹීමට පිරිස අපොහොසත් වීමය. සාකච්ඡාව ආරම්භයේදීම රන්ජිත්, තලතා, මලික් යන තිදෙනාම එක හඬින් යුතුව කියා සිටියේ රනිල්ගේ නායකත්වය යටතේ කිසිසේත්ම තවදුරටත් පක්ෂය පවත්වාගෙන යෑමට තම කණ්ඩායම සූදානම් නැතැයි කියාය. නියත වශයෙන්ම මහ මැතිවරණයට පෙර සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිය යුතු බවද ඔවුන්ගේ ස්ථාවරය විය. එහිදී විවිධ යෝජනා දෙපාර්ශ්වයෙන්ම පැමිණි අතර මෙතුවක් කල් පක්ෂය තුළ පැවැති වෘත්තීය සමිති, ශිෂ්‍ය, භික්ෂු සංවිධාන කඩාවැටීම පිළිබඳවත්, පක්ෂ මූලස්ථානය වූ සිරිකොත කඩාවැටීම පිළිබඳවත්, පක්ෂයේ ඡන්ද පදනම බිඳවැට්ටවීම පිළිබඳවත් පක්ෂ මහලේකම්වරයා වූ අකිල විරාජ් කාරියවසම් මහතාට දැවැන්ත විවේචනයක් එල්ලවන ආකාරයක්ද දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම පක්ෂ යාන්ත්‍රණය බිඳවැට්ටවීම සම්බන්ධයෙන් අකිලට එල්ලවූයේ දැඩි විරෝධයකි. ඒ අනුව නැවැත පක්ෂය නඟාසිටුවීමට නම් සජිත්ට පක්ෂ නායකත්වය ලබාදී පක්ෂ අභ්‍යන්තරය තුළ දැවැන්ත ප්‍රතිසංවිධානයක් සිදු විය යුතු බවට පිරිස දීර්ඝව කරුණු දක්වද්දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉතා මධ්‍යස්ථ ස්ථානයක සිට කරුණු දක්වනු දැකගත හැකි විය. කිරිඇල්ලද රනිල් නායකත්වයෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ සිටියද ඔහුගේ යෝජනාව වූයේ එක්වරම පක්ෂ නායකත්වය සජිත්ට දෙනවාට වඩා අත්දැකීම් සහිත මධ්‍යස්ථ පුද්ගලයකු වූ කරුට පළමුව පක්ෂ නායකත්වය ලබාදී ඉන් අනතුරුව සජිත්ට එය ලබාදීමේ වැඩපිළිවෙළක් වෙත යා යුතු යැයි කියාය.

කිරිඇල්ල කරු ගැන කියපු කතාව
“අපි දැන් ජනාධිපතිවරණය පැරැදිලා ඉවරයි. අපි ඔක්කොම දන්නවා ජනාධිපතිවරණයට අපි දැම්මෙ අපි ළඟ හිටපු ජනප්‍රියම අපේක්ෂකය කියලා. හැබැයි එහෙම කරලත් සජිත් ජනාධිපතිවරණය පැරැදුණා. අපිට 2025 ජනාධිපතිවරණයටත් දාන්න වෙන්නෙ සජිත්ව. මොකද තවම වෙන නායකයෙක් ඒ මට්ටම ඇවිත් ඉන්නව කියල අපිට පේන්න නෑ. ඉතින් ඒක හින්ද අපි සජිත්ව ආරක්ෂා කරගන්න ඕනෙ. අපි සජිත්ගෙ නායකත්වය යටතේ මහ ඡන්දෙට ගිහිල්ල ඒකත් පැරදුණොත් සජිත්ව පැරදිච්ච කෙනෙක් විදිහට ලේබල් වෙනවා. මමත් පිළිගන්නවා නායකත්වයයි, මේ තියෙන පක්ෂයේ ව්‍යුහයයි වෙනස් වෙන්න ඕනෙ කියල. හැබැයි මේක එකපාරටම අපිට කරන්න බෑ. අන්තර්කාලීන නායකයෙක් පක්ෂයට පත්කරලා ඊට පස්සෙ සජිත්ට නායකත්වය ලබාදෙන වැඩපිළිවෙළකට අපි යන්න ඕනෙ. මේක අපි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්ට තාවකාලිකව බාර දීලා ඊට පස්සෙ සජිත්ට දෙමු. මම යෝජනා කරන්නෙ දැනට ඒකට ඉන්න හොඳම සුදුස්සා කතානායක කරු ජයසූරිය මහත්තයා කියලයි. මොකද පක්ෂය වැටිල තිබුණ අවස්ථා කිහිපයකදීම එතුමා නායකත්වය දීල මේ පක්ෂය ගොඩදැම්මා. 2015ට ඉස්සෙල්ලා ඌව පළාත් සභා ඡන්දෙදි එතුමා තමයි ඡන්දය මෙහෙයෙව්වෙ. එතුමා තමයි හරීන්ගෙ තාත්තත් එක්ක කතා කරල හරීන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරගෙන ඌව මහඇමැති අපේක්ෂකයා විදිහට අරන් ආවෙ. ඒ වගේම එතුමා තමයි සජිත්වයි, රනිල්වයි දෙන්නම බදුල්ලෙ එකම වේදිකාවක් උඩට ගෙන්නුවෙ. ඒ හින්ද අපි හැමෝටම පිළිගන්න පුළුවන් කෙනෙක් තමයි එතුමා…” යනුවෙන් මධ්‍යස්ථ තැනක සිට කිරිඇල්ල අදහස් දැක්වුවද සජිත් පිලෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබෙන බවක් දැකගන්නට ලැබුණේ නැත. 

කරු ‌නෙමෙයි සජිත්….
විශේෂයෙන්ම මලික් දැඩිව කියා සිටියේ මේ මොහොතේ කරුට නොව සජිත්ට නායකත්වය ලබාදිය යුතු යැයි කියාය. කිරිඇල්ල දිගින් දිගටම කරු පිළිබඳව කතා කරමින් තමන් සජිත් සමඟ මේ පිළිබඳ කතා කළ බවත්, ඔහුද සිටින්නේ එම ස්ථාවරයේම බවත් කියා සිටියත්, රන්ජිත් සහ තලතාද සිටියේ කරුට නොව සජිත්ට පක්ෂ නායකත්වය හිමිවිය යුතුය යන ස්ථාවරයේය. ඒ අනුව සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වන ලකුණු ඒ වන විටත් පහළ කර තිබිණ. එහි ප්‍රතිපලය වූයේ ඊළඟ සාකච්ජා සඳහා දින නියමයකින් තොරවම එම සාකච්ඡා අවසන් කිරීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමය.

සජිත් පිල අරන් ගිය යතුරු රනිල් යළි අරගනී
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රනිල් විසින් නම්කොට සාකච්ඡා සඳහා එවනු ලැබූ රනිල්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනා වූ ආශු මාරසිංහත්, වජිර අබේවර්ධනත් රනිල් වෙනුවෙන් වචනයක් හෝ කතා නොකොට රන්ජිත්, තලතා සහ මලික් කී කතා සියල්ල අසා සිටි ආකාරයක් දැකගත හැකි වීමය.
කෙසේ වෙතත් සාකච්ඡා අවසන් වීමත් සමඟ රනිල් මුණගැසුණු වජිර ඇතුළු පිරිස කමිටුවේදී සාකච්ඡා වූ කරුණු අකුරක් නෑර රනිල්ට දැනුම්දීමට පියවර ගත්හ. ඔවුන් එහිදී පැහැදිලිවම කියා සිටියේ සජිත්ගේ පිල පක්ෂ නායකත්වය සඳහා සජිත්වම ඉල්ලා සිටින බවත්, රනිල්ට පමණක් නොව කරුටද ඔවුන් සිය විරෝධය පළකරන බවත්ය.

රනිල් රෑම කරු හමුවන්න යයි
මෙම තොරතුරු වාර්තා වීමත් සමඟ රනිල් කළේ වහාම කරුට දුරකතන ඇමැතුමක් ගැනීමය. ඒ අනුව තමන්ට කරු හමුවීමට අවශ්‍ය බව දැනුම්දීමෙන් පසුව කරු කියා සිටියේ තමන් රාත්‍රියේ නිල නිවෙසේ රැඳී සිටින බවත්, සාකච්ඡා සඳහා නිල නිවෙසට පැමිණෙන ලෙසත්ය. ඒ අනුව කරු කළ දැනුම්දීමට අනුව රනිල් බදාදා දිනම රාත්‍රි කරුගේ නිල නිවෙසට ගියේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවදුරටත් කරු සමඟ සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී රනිල්ගේ උත්සාහය වී තිබුණේ නැවැත වතාවක් තමාගේ තැන බේරාගැනීම සඳහා ප්‍රශ්නය තව ටික කාලයක් හෝ කෙසේ හෝ ඇදගෙන යෑමය. 

නායකත්ව මණ්ඩල ‌බෝලය යළිත්
“දැන් ඔක්කොම එක්කහු වෙලා සජිත්ට නායක්වය දෙන්න කියල ඉල්ලනවා. හැබැයි සජිත් තවම තරුණ වැඩියි. ඒ වගේ භාරදූර කටයුත්තක් කරගෙන යන්න සජිත්ට තවම අත්දැකීම් මදි. එහෙම වුණොත් පක්ෂය දෙකට තුනට බෙදෙන්න පුළුවන්. මට තියෙන එකම බය මේ ප්‍රශ්නය නිසා පක්ෂය කැඩෙයිද කියන එකයි. මොකද මගෙන් පස්සෙ එහෙම දෙයක් වෙනව නම් ඒක මටත් හරි නෑ. ඉතින් මම හිතුවේ සජිත් අත්දැකීම් ලබනකම් පක්ෂයට නායකත්ව මණ්ඩලයක් පත්කරලා ඒකට බලතල පවරන්න..” යනුවෙන් කියමින් රනිල් හීන්සීරුවේ ඇඟට පතට නොදැනී නැවැත වතාවක් එජාපයට නායකත්ව මණ්ඩලයක් හඳුන්වාදිය යුතු බවට වූ යෝජනාව කරුගේ පැත්තට දැමීමට කටයුතු කළේය.

කරු රනිල්ට ඉතිහාසය මතක් කර ‌දෙයි
නමුත් මෙහිදී කරුගෙන් රනිල්ට ලැබුණේ රනිල් බලාපොරොත්තුව පැමිණි පිළිතුර නම් නොවේ. ඒ වෙනුවට ඉකුත් අවස්ථාවේදී පක්ෂය බරපතළ නායකත්ව අර්බුදයකට මුහුණදුන් විට නායකත්ව මණ්ඩලයක් හරහා තමන් පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන ආ නමුත් ඉන් පසු තමන්ට විඳින්නට සිදුවූ අමිහිරි මතකයන් සියල්ල මෙහිදී කරු රනිල්ගේ මුහුණටම කියා සිටීමට පියවර ගත්තේය.
“ඒකමතිකව ලැබෙන්නෙ නැත්නම් මම මේ වෙලාවේ පක්ෂයේ කිසිම වගකීමක් ගන්න සූදානම් නෑ. මේ වගේම අර්බුදයක් ආපු පහුගිය කාලෙත් ඔබතුමා නායකත්ව මණ්ඩලයක් පත්කළා මාව ප්‍රධානියා කරලා. ඒ ඌව මැතිවරණයට කලින්. ඒ ඡන්දෙ සම්පූර්ණයෙන්ම මමයි මෙහෙයවූයේ. මම ඒකෙදි පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන්න විශාල වැඩ කොටසක් කළා. මමයි ගිහිල්ල හරීන්ගෙ තාත්තට කතා කරලා හරීන්ව පාර්ලිමේන්තුවෙන් අයින් කරගෙන මහ ඇමැතිකමට ගේන්න එකඟ කරගත්තෙ. ඒ වෙලාවෙත් සජිත් වෙනම ගමනක් යමින් හිටියෙ. මමයි ගිහිල්ලා කතා කරලා සජිත්වයි ඔබතුමාවයි දෙන්නම එකම වේදිකාවකට ගෙනල්ලා පක්ෂයේ එකමුතුකම රටට පෙන්නුවෙ. අන්තිමේදි සජිත් ඉල්ලීමක් කළා නායකත්ව මණ්ඩලය විසුරුවන්න කියලා. ඊට පස්සෙ මාව කරපිංචා කොළයක් වගේ ඔබතුමා පැත්තකට විසිකළා. ඔබතුමත් වෙනම ගමනක් ගියා.

ඒ විතරක් නෙමෙයි 2015 ජනාධිපතිවරණය වෙලාවෙ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො පිටිපස්සෙ ඉඳගෙන විශාල වැඩ කොටසක් කළා. උන්වහන්සේගේ ස්ථාවරය වුණේ මාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියලයි. නමුත් ඔබතුමා අන්තිමේදි ඒකට කොන්දේසි දැම්මා. මට නොදී පක්ෂයෙන් පිට කෙනෙක්ට අපේක්ෂකත්වය දෙන්න ඕනෙ කියල කිව්වා. අන්තිමේදි සෝභිත හාමුදුරුවොත් මේ ගැන විශාල කලකිරීමකින් හිටියෙ. එදා ඒ ගත්තු තීන්දු නිසා අද මේ මුළු පක්ෂයම දුක් විඳිනවා. 

නායකත්වය ‌දෙනවා නම් ‌මේ විදිහට ‌දෙන්න
පහුගිය ජනාධිපතිවරණය වෙලාවෙත් මහා සංඝරත්නයයි සිවිල් සංවිධාන නියෝජිතයොනුයි විශ්වවිද්‍යාල ආචාර්යවරුනුයි ඔක්කොම මාව හමුවෙලා කිව්වෙ මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මමත් කිව්වේ සියලු දෙනාම ඒකමතිකව ඉල්ලීමක් කරනවා නමි මම ඒකට සූදානම් කියලයි. අන්තිමේදී ඔබතුමා ඒකට කිසි ප්‍රතිචාරයක් දැක්වුවෙත් නෑ. ඒ හින්දා දැන් මං මගේ ජීවිතේ ඉදිරි කාලය නිදහසේ ගතකරන්න තීන්දු කරලයි තියෙන්නෙ. හැබැයි මම හැම වෙලාවෙම මේ පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනීහිටියා. මේ වෙලාවෙත් අවශ්‍යම නම් විතරක් පක්ෂයේ වගකීම් තාවකාලිකව දරන්න මම ලෑස්තියි. හැබැයි ඒ කෙටි කාලෙකට විතරයි. එහෙම වගකීමක් දෙනව නම් ඒක නිසි ආකාරයට පිළිවෙළකට දෙන්න ඕනෙ. සජිත් මාව යෝජනා කරලා ඔබතුමා ඒ යෝජනාව ස්ථිර කරන්න ඕනෙ. ඊට පස්සෙ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුයි, මහ සම්මේලනයෙනුයි ඒක සම්මත කළොත් ඇරෙන්න වෙන කිසිම විදියකින් මම ඔය තනතුරු භාරගන්න සූදානම් නෑ…” යනුවෙන් කරු දීර්ඝව රනිල්ට සිය ස්ථාවරය පැහැදිලි කරද්දී රනිල්ද වසර 25ක් තිස්සේ තමන් විසින් පක්ෂය ඉදිරියට රැගෙන ආ ආකාරය පිළිබඳව කරුට පෙන්වා දීමට කටයුතු කළේය. තමන් ඉතා අසීරු කාලසීමාවකදී පක්ෂ නායකත්වය දැරූ බවත්, පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූ බවත් පෙන්වා දුන් රනිල් එසේ කළ තමන්ව සියලු දෙනාම එක්වී දැන් එළියට දැමීමට කටයුතු කරමින් සිටින බවද පෙන්වා දුන්නේය. මේ හේතුව නිසා පක්ෂය තුළ දැනට මතුව ඇති අර්බුදය විසඳා ගැනීමටත්, සියලු පාර්ශ්ව ඒකරාශි කර ගැනීමටත් වහාම ඉදිරියට පැමිණ වගකීම් භාරගන්නා ලෙස නිල නොවන ආකාරයට කරුට දැනුම් දෙමින් එම රැස්වීම අවසන් කිරීමට රනිල් පියවර ගත් ආකාරයක් දැකගන්නට තිබිණ.

MCC අවතාරයට ‌මේ ආණ්ඩුවත් ‌බය ‌වෙයිද
ඉකුත් ජනාධිපතිවරණ සමයේ ආණ්ඩුව බිඳවැටීමට බලපෑ ප්‍රධාන මාතෘකාවක් වූයේ එම්.සී.සී. ගිවිසුම හෙවත් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමය. ජනාධිපතිවරණයට දින කිහිපයක් තියා එජාප ආණ්ඩුව මෙය අස්සන් කිරීමට සූදානම් බවට ප්‍රකාශ කිරීමත් සමඟ රටම ගිනිගත් ආකාරයක් දැනගන්නට තිබිණ. විශේෂයෙන්ම එවක විපක්ෂයේ සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැන්නවුන් දැඩිව කියා සිටියේ ආණ්ඩුව රට අමෙරිකාවට පාවා දීමට සූදානමින් සිටින බවත්, ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු එම්.සී.සී. ගිවිසුම කිසිසේත්ම අස්සන් නොකරන බවත්ය. ජනාධිපතිවරණ සමයේදී උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රයේ මාරාන්තික උපසායක් ආරම්භ කරමින් එම්.සී.සී. ගිවිසුමට විරෝධය පළ කරන බව කියද්දී ජනාධිපතිවරණ අපේක්ෂකයන් වූ ගෝඨාභය රාජපක්ෂත්, සජිත් ප්‍රේමදාසත් සිය අස්සනින් යුතුව එහිමියන් වෙත ලිඛිතව දැනුම්දී සිටියේ එම්.සී.සී. ගිවිසුම අස්සන් නොකරන බවකි. උඩුදුම්බර හිමියන් සිය උපවාසය අත්හලේද මෙසේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ලද සහතිකය නිසාය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුව දින කිහිපයක් මෙම එම්.සී.සී. මාතෘකාව යටගොස් තිබුණත් නැවැත වරක් එය කරළියට එන ආකාරයක් දැකගන්නට ලැබුණේ ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ගේ කටවල්වලින් එම්.සී.සී. ගිවිසුමේ ඇති හොඳ පැති එළියට ඒමත් සමඟය. විශේෂයෙන්ම ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් නැවැත වතාවක් ආණ්ඩුව පසු විපරමක යෙදෙනවා යැයි කියාය.

ගම්මන්පිල යූටර්න් ගහයිද
ඒත් සමඟම ගම්මන්පිල කළ ප්‍රකාශයක් නිසා පසුගිය සතිය වන විට එම්.සී.සී. ගිවිසුම සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන ලකුණු දැකගන්නට තිබිණ. එහිදී ජනාධිපතිවරණ සමයේදී ගම්මන්පිල එම්.සී.සී. ගිවිසුමට දැඩිව පහර දුන්නත් පසුගිය සතියේදී හෙතෙම කියා තිබුණේ එම්.සී.සී. ගිවිසුමේ සියයට හැත්තෑවක් හොඳ බවත්, ඇමෙරිකාවෙන් එන සියලුම දෑ ප්‍රතික්ෂේප කිරීමට තරම් බාල දේශපාලනයක ඔවුන් නිරත නොවන බවත්ය. ඒ සමඟම සමාජ මාධ්‍ය ජාලවල හාස්‍යයට ගම්මන්පිල ලක්වන ආකාරයක් දැකගන්නට තිබුණු අතර තත්ත්වය තවත් දරුණු අතර පෙරළුණේ වාසුදේවත්, විමලුත් මෙම ගිවිසුම ආණ්ඩුව අස්සන් නොකරන බවට ප්‍රකාශ කිරීමත් සමඟය.


ඒ සමඟම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරද ට්විටර් පණිවුඩයක් තබමින් එම්.සී.සී. ආයතනය ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කල් ලබාදී ඇති බවක් කියා සිටි අතර එම්.සී.සී. ආයතනයද ඇමෙරිකාවේ වොෂින්ටනයේදී මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ. 

මේ ආකාරයට එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වතාවක් රට ඇතුළේ මාතෘකාවක් බවට පත්වෙද්දී සහ රජය පැත්තෙන් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් නොවුණු පසුබිමක විමල් කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය විමසා සිටීමට කටයුතු කළේය. එහිදී ඔහු කියා සිටියේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුමට එරෙහිව තමන් ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පළකළ බවත්, තවදුරටත් තමන් ඇතුළු එම කණ්ඩායම ඊට විරෝධය පළ කරන බවත්ය. එම නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය දැනගත යුතු බවද විමල් එහිදී කියා සිටියේය. 

ජනපති ලලිතසිරිට වැඩේ බාරදෙයි
කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවත්, ඉදිරියේදී එම කමිටුව මඟින් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ආණ්ඩුවට ලබාදෙනු ඇති බවත්ය. එම වාර්තාව ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කොට ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි බවද මෙහිදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී සිටියේය. ඒ අනුව විමල්ද එය පිළිගත් ආකාරයක් දැකගන්නට ලැබිණ. කෙසේ වෙතත් පසුගිය සතිය වන විට ඉකුත් ආණ්ඩුව පෙරළා දැමීමට තරම් බලගතු හොල්මනක් වූ එම්.සී.සී. ගිවිසුම මේ වන විට මේ ආණ්ඩුවටද අවතාරයක් වන ලකුණු පහළකොට ඇති බවක් නම් පෙනෙන්නට ඇති කාරණයකි.

මෛත්‍රීගේ ‌ගෙදරට ‌වෙන්න යන ‌දේ
මේ දිනවල ආණ්ඩුව ඇතුළේ මතුව ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ නිල නිවාස ප්‍රශ්නයය. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙතෙක් ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයකු භාවිතා නොකළ ආකාරයේ අති සුපිරි ගණයේ නිල නිවාසයක් ඔහුගේ විශ්‍රාම දිවිය ගතකිරීමට ලබාදී තිබීමත්, එසේ තිබියදී වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස සාමාන්‍ය නිල නිවාසවල සහ පෞද්ගලික නිවාසවල තවදුරටත් රාජකාරී කිරීමත් මෙම නිල නිවාස ප්‍රශ්නයට හේතුවී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම සරල ජනාධිපතිවරයකු ලෙස කටයුතු කරන බව පවසමින් මෙතෙක් ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයකු නොකළ ආකාරයට ඉතා අශෝභන ලෙස මෛත්‍රිපාල හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ලවා සිය විශ්‍රාම දිවිය ගත කිරීමට එතෙක් පදිංචිව සිටි පැජට් පාරේ පිහිටි සුපිරි ගණයේ නිල නිවාස තුන පවරාගත් ආකාරය මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශාල මාතෘකාවක් බවට පත්ව තිබේ. ඉකුත් ආණ්ඩු සමයේදී එය කැබිනට් පත්‍රිකාවක් මඟින් සම්මත කර බවක් මාධ්‍ය වාර්තා කර තිබුණද මේ වන විට ආණ්ඩුවට දැනගන්නට ලැබී ඇත්තේ එවැන්නක් සම්මත වී නොමැති බවත්, එවැනි යෝජනාවක් පමණක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව ඇති බවත්ය.

තුනෙන් ‌දෙකේ කතාව ‌‌මෛත්‍රී බයට කියපු එකක්ද
එමෙන්ම ජනාධිපති වූ පසු තමන් සරල ලෙස පොළොන්නරුවේ සිට රට කරන බව කීවද මෛත්‍රි මෙතෙක් කල් රැඳී සිටි පැජට් පාරේ පිහිටි නිවෙස අති සුපිරි ගණයේ අධි සුඛෝපභා්ගී එකක් බවටද මේ වන විට තොරතුරු හෙළිවී තිබේ. මෙහි සුපිරි බව කොතෙක්ද යත් මෙතුවක් කාලයකට එහි ඡායාරූපයක් හෝ එළියට නොදමා සම්පූර්ණයෙන්ම එය මාධ්‍යයෙන් සඟවා තබාගැනීමට මෛත්‍රී කටයුතු කළේ එවැනි ඡායාරූපයක් හෝ එළියට පැමිණියහොත් තමා ගත කරන සුපිරි ජීවිතයේ තරම රටට හෙළිදරව් වන නිසාත්, එම මන්දිරයේ ඇති සුපිරි බව රටට හෙළිවනු ඇති බවට වූ බිය නිසාත් විය යුතුය.

මිරිහානේ සිට එද්දි ජනතාවට වන අපහසුතාව
කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුව ඇතුළේ යෝජනාවක් ලෙස ඉදිරිපත්ව ඇති කාරණයක් වන්නේ මෙම නිල නිවාස භාවිතය පිළිබඳව කිසියම් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු යැයි කියාය. ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය තමන් ජනාධිපති මන්දිරය භාවිතා නොකරන බවත්, මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේ සිට කටයුතු කරන බවත් කියා සිටි අතර, මහින්දද තීරණය කර තිබුණේ අගමැති ධුරයට පත්වීමෙන් පසුව අරලියගහ මන්දිරයේ පදිංචියට නොගොස් තමන් විපක්ෂ නායක සමයේ සිටම පදිංචිව සිටි විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේ තවදුරටත් රැඳී සිටීමටත්ය. කෙසේ වෙතත් මෙහිදී මහින්දගේ නිල නිවෙස පිළිබඳව තවමත් ගැටලුවක් මතුවී නොමැති වුවත්, ජනාධිපතිවරයාගේ නිවෙස සම්බන්ධයෙන් නම් මේ වන විට කිසියම් සාකච්ඡාවක් ආණ්ඩුවේ මතුව ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඊට හේතුවී ඇත්තේ රාජ්‍ය නායකයකු පැමිණියත්, මැති ඇමැතිවරුන් මුණගැසීමට ගියත්, හමුදා ප්‍රධානීන් හමුවීමට ගියත් කොළඹ සිට දැඩි රථ වාහන තදබදයක් නිරතුරුවම පවතින රාජගිරිය හරහා ජනාධිපතිවරයා සිටින මිරිහානේ නිවෙසට යායුතුව තිබීමය. ජනාධිපතිවරයා දේශපාලන සාකච්ඡා සඳහා සහභාගී වන්නේත්, නිල රාජකාරිවලට පැමිණෙන්නේත් මිරිහානේ පිහිටි මෙම ‌පෞද්ගගලික නිවෙසේ සිටය. ඒ අනුව බොහෝ විට දැඩි රථ වාහන තදබදයකට මුහුණදීමට සිදුවීමත්, නිතර එහා මෙහා යන විට සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතාවත් සලකා බලා මේ වන විට යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ ජනාධිපතිවරයාගේ වාසය සඳහා සුදුසු නිල නිවෙසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ආසන්නයෙන් ලබාදීමටය. එහිදී ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේද කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිතා කිරීමට ඇති අකැමැත්ත නිසා සාමාන්‍ය ඇමැති නිල නිවෙසක් ඒ සඳහා සුදුසු යැයි කියාය. ඒ අනුව දැනට නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ ජනතාවට සිදුවන අසීරුතාවලින් වළක්වාලීම සඳහා ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ රැඳී සිටි බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඊට සුදුසු බවට හඳුනාගෙන ඇති බවකි. මේ වන විට එහි පදිංචිව සිටින්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න මහතාය. ඒ අනුව එම නිල නිවෙස ලබාගෙන යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජනාධිපතිවරයාට ලබාදීමට යෝජනා වී ඇති බවක් මේ වන වට දැනගන්නට ඇත. 

ඊළඟ ගැටලුව මතුව ඇත්තේ අගමැතිවරයාගේ නිල නිවෙස සම්බන්ධයෙන්ය. මේ වන විට අගමැතිවරයාත්, තමන්ට හිමි අරලියගහ මන්දිරයේ පදිංචියට නොගොස් තවමත් සිටින්නේ විපක්ෂ නායක කාලයේ සිටම නවාතැන්ගෙන සිටි විජේරාම පාරේ පිහිටි සාමාන්‍ය නිල නිවෙසේය. නමුත් දැන් මහින්ද රටේ අගමැතිවරයා වන නිසා එවැනි ස්ථානයක සිටීම ගැටලුවක් බවත්, ඒ වෙනුවට සුදුසු නිල නිවාසයක් මහින්දට ලබාදිය යුතු බවටත් මේ වන විට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වෙමින් පවතී. ඒ අනුව යෝජනා වී ඇත්තේ මහින්දට ඉතාම සුදුසු නිල නිවාසය ලෙස හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින පැජට් පාරේ පිහිටි නිල නිවෙස සුදුසු යැයි කියාය. ඒ අනුව එම නිල නිවාසය මෛත්‍රිගෙන් ලබාගෙන, හිටපු ජනාධිපතිවරුන් වූ චන්ද්‍රිකා හා මහින්දට ලබාදුන්නා සේ සාමාන්‍ය නිල නිවෙසක් මෛත්‍රිට ලබාදීමටත් මේ වන විට යෝජනා ඉදිරිපත් වීඇත.
එසේම මේ වන විට ආණ්ඩුවේ සැලැසුම වී ඇත්තේ මෙම නිල නිවාස සම්බන්ධයෙන් හැකි තාක් ඉක්මනින් කිසියම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමටය. ඇතැම් ඇමැතිවරුන් ආණ්ඩු පෙරළීමෙන් පසුව මාස ගණන්, අවුරුදු ගණන් එම නිල නිවාස ලබා නොදී පාවිචිච් කිරීම පිළිබඳව විශාල කතාබහක් ආණ්ඩුව ඇතුළේ ආරම්භ වී ඇති අතර ආණ්ඩු පෙරළියකදී එම නිල නිවාස ඉතාම ඉක්මණින් භාරදිය යුතු බවට නීති පැනවීම සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ පිළිබඳව සාකච්ඡා වටයක්ද ආණ්ඩුව ආරම්භ කර ඇති බවක් දැනගන්නට ඇත.

අවලංගු කාසියක් වුණු ‌මෛත්‍රී
ජනාධිපති තනතුරෙන් විශ්‍රාම යෑමෙන් පසු යළි පාර්ලිමේන්තුවට පැමිණීම ඇතුළු තවත් වැඩ කිහිපයකට අතගැසුවද ඒ සියල්ල සිතූ ආකාරයෙන් සාර්ථක නොවුණු තැන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සතියේදී සිය නිල නිවෙසට ආසන සංවිධායකවරුන් කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීමේ අරමුණිනි. ඒ අනුව මෛත්‍රි එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා එළැඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ගෝඨාභය මහතාට ලබා දිය යුතු යැයි කියාය. කෙසේ වෙතත් දැඩි නිහඬ බවක සිට හිටිහැටියේම නින්දෙන් නැඟිට්ටාක් මෙන් මෛත්‍රි මෙසේ ගෝඨාභයට තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේම ඇතැම් මැති ඇමැතිවරුන් අතර පසුගිය සතියේදී අදහස් ගණනාවක්ම හුවමාරු වන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඇතැමකු කීවේ මේ වන විට මෛත්‍රි කිසිවකුත් ගණන් නොගන්නා අවලංගු කාසියක් බවට පත්ව සිටීම නිසා ජනාධිපතිවරයාගේත්, ජනතාවගේත් අවධානය දිනාගනු පිණිස මෙවැනි කතාවක් කීවා යැයි කියාය. තවත් සමහරුන් කීවේ මේ වන විට තමන් රැඳී සිටින නිල නිවෙස අහිමි වන බවට තොරතුරු වාර්තා වීම නිසාත්, සභාපතිවරුන් පත්කිරීමේදී සැලකිල්ලට ගන්නා ලෙසට ජනාධිපතිවරයා වෙත යවනු ලැබූ නම් ලැයිස්තුවට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසාත් මෛත්‍රි මෙවැනි කතාවක් කී බවකි. තවත් සමහරුන් කියා සිටියේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන බව පෙන්වා රාජපක්ෂ පවුල තුළ ගැටුමක් ඇතිකිරීමේ අරමුණින් යුතුව මෛත්‍රි මෙවැනි කතාවක් කියන්නට ඇතැයි කියාය. 

කෙසේ වෙතත් මෛත්‍රි මේ ආකාරයට ආසන සංවිධායකවරුන් කැඳවා ජනාධිපතිවරයාව ශක්තිමත් කළ යුතු බව කීවත් ඉකුත් ජනාධිපතිවරණ සමයේ මෛත්‍රි ගෙනගියේ ඊට හාත්පසින්ම වෙනස් වැඩපිළිවෙළකි. එනම් රාජ්‍ය ඔත්තු සේවා මඟින් ලබාදුන් වාර්තා අනුව සජිත්ට වාසි සහගත ලෙස කටයුතු කළ මෛත්‍රි ජනාධිපතිවරණයේදී පොළොන්නරුවෙන් සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් සජිත්ට ලබාගත හැකි පරිදි වෙනම ප්‍රචාරක ව්‍යාපාරයක් තිරය පිටුපස දියත් කර ඇති බවටද තොරතුරු මේ වනවිට හෙළිව තිබේ. එමෙන්ම මෛත්‍රි මෙවැනි ප්‍රකාශයක් හිටිහැටියේම කළේ ආණ්ඩුවේ යම් යම් තනතුරුවලට පත්කිරීම් කරද්දී රාජපක්ෂවරුන් අතර යම් සංවාදයක් මතුව ඇති බවට මෛත්‍රි වෙත තොරතුරු වාර්තා වී තිබීම නිසා බවත්, ඒ හරහා ජනාධිපතිවරයාව ශක්තිමත් කොට තමන්ට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කර ගැනීම මේ පසුපස ඇති බවත් බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එහිදී ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට කතා කරද්දී අනෙක් රාජපක්ෂවරුන් මෛත්‍රිට පහරදීමට පියවර ගනු ඇති බවත්, එවිට ජනාධිපතිවරයා තමන් වෙනුවෙන් පෙනී සිටිනු ඇති බවත් මෛත්‍රිගේ මතය වී ඇති බවක් දැනගන්නට තිබේ.
මේ අතර මෛත්‍රි විශාල වශයෙන් හුදෙකලා වී ඇති බවට හොඳම උදාහරණයක් පසුගිය සතියේදී දැකගන්නට ලැබුණේ ගෝල්ෆේස් පිටියේදීය. වෙනදා මෛත්‍රි ශාරීරික ව්‍යායාම සඳහා ටොරින්ටන් චතුරස්‍රය තෝරාගත්තද එහි ඇති අවිවේකී ගතිය නිසා මේ වන විට මෛත්‍රි සිය ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා යොදාගන්නේ ගෝල්ෆේස් පිටියය. වෙනදා නම් මෛත්‍රි ඇමැතිවරුන් පිරිවරා ආරක්ෂක නිලධාරීන් සමඟ ශාරීරික ව්‍යායාම් කළද මේ වන විට මෛත්‍රි ගෝල්ෆේස් එකේ ව්‍යායාම් කරන්නේ තනිවමය. වෙනදා නම් සාමාන්‍ය ජනතාව හෝ ඔහු ළඟට ගොස් වචනයක් දෙකක් කතාකොට සෙල්ෆි ඡායාරූපයක් ගනු ලැබුවද මේ වන විට එවැන්නක්වත් සිදුවනු දැකගන්නට නැත.
කපිල පුංචිමාන්නගේ

No comments:

Post a Comment

Post Bottom Ad