ආණ්ඩුව ක්‍රියා කරන්නේ ලිච්ඡවි රජ දරුවන් දුන් උපදේශයන්ට අනුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 18, 2019

ආණ්ඩුව ක්‍රියා කරන්නේ ලිච්ඡවි රජ දරුවන් දුන් උපදේශයන්ට අනුවයි

ආණ්ඩුව ක්‍රියා කරන්නේ ලිච්ඡවි රජ දරුවන් දුන් උපදේශයන්ට අනුවයි

රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශයන්ට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේ අනුරාධපුර, මිහින්තලා පුදබිමේ විදුලි ආලෝක පූජා පින්කම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

“සිරිත් පරිදි මිහින්තලා පූජා භූමියට පැමිණ මේ ආලෝක පූජාවට සහභාගි වීමට මට අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. මිහින්තලා චෛත්‍ය වන්දනා කිරීමට මම පළමු වතාවට මෑණියන් සමඟ  මිහින්තලයට පැමිණෙන විට මෙහි විදුලිය තිබුණේ නැහැ. එකල මිහින්තලා ආලෝක පූජාව සඳහා විදුලිය ලබාගත්තේ ජෙනරේටර් යන්ත්‍ර මගිනුයි. වර්තමානය වන විට මිහින්තලය පූජා භූමිය  විශාල දියුණුවක් ලබා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අපට අවශ්‍ය වුණා. එම නිසා එක් එක් අංශ වෙත කතා කරමින් එම උත්සව පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳව අප සොයා බැලූවා. මිහින්තලය පූජා භූමිය සහ එහි සිදු කෙරෙන ආගමික වැඩසටහන් පැවැත්වීම සම්බන්ධව පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳව අපේ වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියන් සඳහන් කළා. මිහින්තලය වාර්ෂික පෙරහර රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීම සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබෙනවා. ඒ වගේම අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරු සමඟ සාකච්ඡා කර අවශ්‍ය පිළියම් යෙදීමට මම කටයුතු කරන බව කිව යුතුයි."

මිහින්තලය ශුද්ධ වූ පූජා භූමියක්. ඒ වගේම අපගේ ඉතිහාසයේ මුල් ආරම්භයයි. ථෙරවාදී බුද්ධාගම ලෝකයේ පවතින්නේ මිහිඳු හිමියන්ගේ මිහින්තලාගමනය නිසයි. සිංහල ජාතිය ඇති වුණේ අනුරාධපුර යුගයේදීයි. මිහින්තලා පූජා භූමියට තිබෙන ස්ථානය හා වැදගත්කම අපි අවිවාදයෙන් යුතුව පිළිගන්නවා. මේ වනවිට ශ්‍රී මහා බෝධි පරිශ්‍රය සහ මහා විහාරයේ අවශ්‍ය කැණීම් සහ සංරක්‍ෂණ කටයුතු සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරම්භය සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟයි. පණ්ඩුකාභය රජ සමයටත් පෙර ආරම්භ වූ සිංහල ගමක් ලෙස අනුරග්‍රාමය සැලකෙනවා. සිංහල ජනතාව මුලින්ම ජීවත් වූයේ මල්වතු ඔය ආශ්‍රිතව වූ අතර පසුකාලීනව යාංඔය ප්‍රදේශයටත් ව්‍යාප්ත වුණා. ඒ අනුව අපි මේ වන විට මල්වතු ඔය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරියේ ද මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා. යාං ඔය ආශ්‍රිතව මේ වන විටත් අවශ්‍ය කරන වාරිමාර්ග දියුණුව ආරම්භ කර තිබෙනවා. මල්වතු ඔය ජලාශය ඉදිකර ඒ ප්‍රදේශ දියුණු වීමත් සමඟ මිහින්තලය ඇතුලූ අනුරාධපුර දියුණුවත් ඇති වෙනවා. ඒ අනුව අනුරාධපුරයේ දියුණුවත් සමඟ අපේ ශිෂ්ඨාචාරයේ මූලස්ථාන දැක බලා ගැනීමට සහ ඉතිහාසය දැන ගැනීමට සියලූ දෙනාට අවස්ථාව ලැබෙනවා" යැයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad