තාත්තා කපමින් සිටි තිනර් බැරලය පුපුරා දස හැවිරිදි පුතා මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 26, 2019

තාත්තා කපමින් සිටි තිනර් බැරලය පුපුරා දස හැවිරිදි පුතා මරුට

මාතලේ, කූඹියන්ගොඩ ප‍්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු පෙරේදා (24 දා) රාති‍්‍ර 7.00 ට පමණ පොළොන්නරුවේ පුලස්තිගම ගල්කැටිදමන ප‍්‍රදේශයේ පිහිටි
මවුපියන්ගේ නිවසට පැමිණ ඒ නිවසේ පරිහරණය සඳහා ජලය එක්රැස් කර තබාගැනීමට තිනර් නමැති රසායනික ද්‍රව්‍ය දමා තිබූ හිස් බැරලයක් විදුලි බලයෙන් කි‍්‍රයාකරන ග‍්‍රයින්ඩරයක් ආධාරයෙන් කැපීමට යෑමේදී බැරලය පුපුරා ගොස් එක් සහෝදරයකුගේ 10 හැවිරිදි පුත‍්‍රයා මියගොස් ඇත.

අනෙක් සහෝදරයාගේ 16 හැවිරිදි පුත‍්‍රයා ද ඒ සිද්ධියෙන් බරපතළ තුවාල ලබා තිබේ. අනතුර සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනාම ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී 10 හැවිරිදි දරුවා මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ මාතලේ කූඹියන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි ඒ. ජී. සඳරු නිමේෂ (10) නමැති දරුවායි.

තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ පසුගිය වසරේ අ.පො.ස. සා. පෙළ විභාගයට පෙනී සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

බැරලය කපා වෙන් කිරීමට උත්සාහ දරමින් සිටි අයියා මලෝ දෙදෙනාගෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය කියයි.

මේ හිස් බැරලය තුළ තිනර් තැන්පත් වී තිබීම නිසා එහි ඇති වූ රසායනික ප‍්‍රතිකි‍්‍රයාවක් මගින් එය මෙසේ පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

තම මාපියන්ගේ නිවසේ ප‍්‍රයෝජනය සඳහා ජලය එක්රැස් කර තබා ගැනීමට සුදුසු පරිදි සකසා දීම සඳහා මේ සහෝදරයන් දෙදෙනා බැරලය රැගෙන විත් ඇත්තේ ද මාතලේ ප‍්‍රදේශයේ සිට බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


කරුණාරත්න ගමගේ, රොෂාන් තුෂාර තෙන්නකෝන් -

No comments:

Post a Comment

Post Bottom Ad