බස්නාහිර පළාත් සභා රැස්වීම් ගර්භයට කෝටි එකහමාරක දොරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 8, 2018

බස්නාහිර පළාත් සභා රැස්වීම් ගර්භයට කෝටි එකහමාරක දොරක්


රුපියල් ලක්ෂ හයහමාරක් බැගින් වටිනා පුටු  125 ක් මිලදී ගැනීම හේතුවෙන් දැඩි ලෙස කතාබහට ලක්වූ බස්නාහිර පළාත් සභාවේ නව සභා ගැබෙහි  ප‍්‍රධාන දොර සඳහාද රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක්
වැයකිරීමක් සම්බන්ධව ආන්දෝලනයක් මතුව තිබේ.  ජනතා විමුක්ති පෙරමුණේ  බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා මෙම දොර සම්බන්ධයෙන් මේ වන විටත්  මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතාගෙන් ප‍්‍රශ්න කර ඇත. එම දොර සම්බන්ධයෙන් මහ ඇමතිවරයාගෙන්

නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණු බැවින් ලිඛිත පැනයක් ලෙසද එය  එළඹෙන සභාවාරයේ න්‍යාය පුස්තකයටද ඇතුළු කර ඇත.

මෙලෙස අධික වියදමක් යොදා නිමවා ඇතැයි කියන පළාත් සභා ගර්භයේ දොරටුව පාලිම්නේතුවේ ප‍්‍රධාන දොරටුවට සමාන ලෙස ඉදිකළ රන් පැහැයෙන් යුත් දැවැන්ත දොරටුවක් වන බවත් එය කෝට්ටේ යුගයේ කැටයම් යොදා අලංකාර කර ඇති බවත්  දැනගන්නට ඇත.

මේ පිළිබඳ  පළාත් සභාව තුළ ප‍්‍රශ්න කළ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා  ප‍්‍රකාශ කර සිටියේ මහා ඇමැතිවරයා මෙම දොර සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම මගහරින බවයි.

”සභා ගර්භයේ ඇති මෙම දොරටුවට රුපියල් කෝටි එකහමාරකට වඩා මුදලක් වැයවී ඇති බවට විශ්වාසදායී ආරංචිමාර්ගයක් හරහා දැනගන්නට ලැබුණා. එම නිසා ඒ පිළිබඳව නිල වශයෙන් තොරතුරු දැනගැනීම සඳහා මා ඒ ගැන පසුගිය සභාවාරයේදී මහා ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්න කළා. නමුත් ඔහු ඊට නිසි පිළිතුරක් දුන්නේ නැහැ ” යැයිද ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා අප වෙත පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා සඳහන් කළේ තමා මෙවැනි දොරටුවක් පිළිබඳව කරුණු  නොදන්නා බවයි. මේ පිළිබඳව පැනයක් න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර ඇත්නම් පළාත් සභා ලේකම්වරයා ඊට පිළිතුරු දෙනු ඇති බවද දේවප‍්‍රිය මහතා පැවසීය

පැතුම් වික‍්‍රමරත්න / නෙරංජලා වික‍්‍රමසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad