ගෝඨා විශේෂ මහාධිකරණයෙන් ඇප මත නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

ගෝඨා විශේෂ මහාධිකරණයෙන් ඇප මත නිදහස්



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරිමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රජයේ මුදල් අවභාවත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (10) පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම්දී තිබුණි.

ඒ අනුව ඉදිරිපත් වූ විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙක බැගින් මත මුදාහැරිමට විනිසුරු මඩුල්ල නියෝග කළ බව වාර්තාකරු සඳහන් කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ නියෝජනය කරමින් මුලින්ම කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.

එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති

නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමි රජය වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටින්නේ නම් විත්තිකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටීයේ.

එම අවස්ථාවේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා කියා සිටියේ මෙය අපරාධ නඩු කටයුත්තක් බැවින් එවැනි නියෝග කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඉන් අනතුරුව රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට විවෘත අධිකරණයේ භාරදීම සිදු කෙරුණා.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලීමක් කරමි ඇප පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයා ඕනෑම වෙලාවක අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත මුදා හරින මෙන් ඉල්ලීම් කළේය.

මෙහිදී රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව දැනටමත් චෝදනා පත්‍ර භාර දී ඇති නිසාත් මෙම නඩුව දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇති නිසාත් ඔවුන් ඇප මත මුදාහැරීම අධිකරණ සිදුකළ යුතු බව දන්වා සිටියේය.


ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හැරීම සඳහා නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නොමැති බව සඳහන් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති සම්පත් අභයකෝන් විනිසුරුවරයා ඒ අනුව එම ඇප මත මුදා හරිමින් නියම කළේය.

මෙම විත්තිකරුවන් රජයේ ඉහළ නිලතල දැරූ පුද්ගලයින් බැවින් ඔවුන් ඇප නියෝගවලට ගරු කොට නඩු විභාග සඳහා පෙනී සිටිනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරන බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් තමා ඉදිරියේ දී අධිකරණය හමුවේ විරෝධතාවක් මතු කිරීමට අපේක්ෂා කරන බවයි.

අනතුරුව නඩුව නැවත ඔක්තෝබර් මස 09 වන දා කැදවන මෙන්ද අධිකරණය නියම කළේය.

පසුගිය රජය සමයේ වීරකැටිය ,මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් නීති විරෝධී ලෙස සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නඩුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සමාන්‍යධිකාරි භද්‍රා උදුලාවතී කමලදාස, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන සුදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එහි. මහින්ද සාලිය, ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන අයනම් කර සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad