අඩි දෙකේ ජල ටැංකිය සිඟිත්තාව බිළි අරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

අඩි දෙකේ ජල ටැංකිය සිඟිත්තාව බිළි අරන්


මැදවච්චිය ළිඳවැව ප්‍රදේශයේ නිවසක්‌ පිටුපස ඉදිකර තිබූ ජලය පිරි ටැංකියකට වැටී දියේ ගිලී යෑමෙන් මාස 16ක් වයසැති කුඩා ළදරුවකු ජීවිතක්‌ෂයට පත්වූ බව මැදවච්චිය පොලිසිය පවසයි.

මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්‌ෂයට පත්වී ඇත්තේ යුද හමුදාවේ සේවයේ නියුතු සෙබළකුගේ එකම පුත්‍රයා වූ ළිඳවැව, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි පී.චනිත් සංකල්ප මාස 16 ළදරුවායි.

මෙම දරුවා මව, පියා හා මිත්තනිය සමග නිවසේ සිට ඇති බවත් දරුවා නිවසේ පිටුපස

දොරෙන් පිටතට ගොස්‌ නිවසේ තිබූ කොස්‌සත් රැගෙන මිදුල අතුගාමින් ටැංකිය ඇති ස්‌ථානයට ගොස්‌ කොස්‌ස ටැංකියට දමා එය නැවතත් පිටතට ගැනීමට උත්සහ කළ අවස්‌ථාවේ පය ලිස්‌සා ටැංකිය තුළට වැටී අඩි දෙකක්‌ පමණ ජලයෙන් පිරී තිබූ එහි ගිලී අනතුර සිදුවී ඇති බවට සැකකළ හැකියැයි පොලිසිය පවසයි.

නිවස පිටුපස පිහිටි අඩි නවයක්‌ පමණ දිග අඩි හතරක්‌ පමණ පළල අඩි දෙකක්‌ පමණ ගැඹුර ජල ටැංකියේ ජලය පිරී තිබී ඇති බවත්, දරුවා නිවස තුළ නොමැති බව දැනගත් මව දරුවා සොයා යද්දී නිවස පිටුපස රෙදි සේදීමට හා දිය නෑමට ඉදිකර තිබූ ටැංකියේ වැටී ගිලී සිටින අයුරු දැක වහාම ඉන් පිටතට ගෙන නිවාඩු ලබා පැමිණ සිටින සිය සැමියා සමගින් දරුවාව ප්‍රතිකාර සඳහා මැදවච්චිය ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස්‌ ඇතත් දරුවා පරීක්‌ෂාකළ වෛද්‍යවරුන් ඔහු මියගොස්‌ ඇති බව ප්‍රකාශකර තිබුණි.

දරුවා නිවස තුළ නැති බව දැනගත් විගසින්ම මව දරුවා සොයා ඇති බවත් විනාඩි පහක්‌ පමණ කාලයකදී සියල්ල සිදුවී අවසන් වී ඇති බවත් පොලිසිය පැවසුවේය.

දරුවාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය අනුරාධපුර ශික්‌ෂණ රෝහලේදී සිදුකළ අතර හදිසි මරණ පරීක්‌ෂණය රඹෑව හදිසි මරණ පරීක්‌ෂක  මහතා විසින් සිදු කළේය.

මැදවච්චිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක අයි. සී. යූ. අයි. කන්දෙවත්ත මහතාගේ උපදෙස්‌ මත මැදවච්චිය පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරීක්‌ෂණ සිදුකළේය.

 - රංග චතු -

No comments:

Post a Comment

Post Bottom Ad