මෛත්‍රි ජනාධිපති කරන්න සහාය දීම ගැන කණගාටුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 28, 2018

මෛත්‍රි ජනාධිපති කරන්න සහාය දීම ගැන කණගාටුයි..

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීමට තම පක්ෂය විශාල කැපවීමක් කළ බවත්, එවැනි නායකයන් පත් කිරීමට සිදුවීම ගැන තමන් අද කනගාටුවට පත්වන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මස්කෙළියේදී පැවැති එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් පැවැසීය.

එහිදී ගුණරත්න මහතා මෙසේද කීය.

“අද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා. පසුගියදා පාර්ලිමේන්තුවේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා තියපු ඡන්දයේදී ජනාධිපතිතුමාගේම පක්ෂයෙන් ඒ පනතට විරුද්ධව ඡන්දය දීල පරාජයට පත් කළා. මේ රටේ ජනතාවට දීපු පොරොන්දුවක් ජනාධිපතිතුමා පැහැදිලිවම කඩකර තිබෙනවා. 

එතුමා දීපු පොරොන්දුවක් අනුව එතුමාගේ ඇමැතිවරයා ෆයිසර් මුස්තාපා මැතිතුමා පනත ගෙනැල්ලා පනතට විරුද්ධව ඡන්දය දෙනවා. එහෙම නම් මම හිතන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එම පනත පරාජය වීමත් සමඟ හරි නම් එතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය දීලා ගෙදර යන්න ඕන. මේ කවුරුත් රටට, ජනතාවට ආදරය නෑ. මේ සියලු දෙනාම කරන්නෙ තමන්ගේ බලය රැකගැනීමට කටයුතු කරන එකයි. මේ ඡන්ද ක්‍රමය වෙනස් කළහොත් එක අපේක්ෂකයකුට එක මන්ත්‍රිවරයකුට තියෙන්නේ එක කොට්ඨාසයක්. ග්‍රාම සේවක කොට්ඨාස 75යි. 

මේ පනත පරාජය කළාට පසුව එක් මන්ත්‍රිවරයෙක් දිස්ත්‍රික්කය පුරාම ගොස් තරග කළ යුතුයි. මුදල් නැති දේශපාලනඥයන්ට එසේ කිරීමට අපහසුයි. ඡන්දක්‍රමය වෙනස් කරන කොට මේකට තරග කළ හැක්කේ හොරකන් කරපු, සල්ලි හම්බ කරපු, තක්කඩිකම් කරන හොරුන්ට පමණයි.

‘අද සරත් ෆොන්සේකා තවත් නාඩගමක් පටන් අරන් තියෙනවා. එස්.ටී.එෆ්. එකේ ඉන්න සීනියර් ඩී.අයි.ජී. ලතීෆ් මහත්තයා හරියට වළං කඩේ ගොනා වගේ හැසිරෙනවා කියලා තියෙනවා. ඩී.අයි.ජී. ලතීෆ් කියන්නේ සත 05ක්වත් හොරකන් කරපු කෙනෙක් නෙවෙයි. එතුමා ගැන පෞද්ගලිකව මම දන්නවා. ඩී.අයි.ජී. ලතීෆ්ට කාටවත් බලපෑම් කරලා උදවු ගන්න බෑ. පාතාලයේ ඉන්න ඔක්කොම සරත් ෆොන්සේකාගේ රෙද්ද අස්සේ හැංගිලයි ඉන්නේ. 

ඉතින් මේ පාතාලයේ ඉන්න අය අල්ලන්න ගියාම තමයි ඩී.අයි.ජී. ලතීෆ් ගෙදර යවන්න හදන්නේ. නේවි සම්පත් තියාගෙන හිටියා. 2009 ආරක්ෂක ලේකම්ගේ බලපෑම් මත තමයි නේවි සම්පත්ල නේවි එකට භාර දුන්නේ.ඉතාමත් වගකීමෙන් අපි කියනවා ඩී.අයි.ජී. ලතීෆ් කියන්නේ මේ රටේ පොලිස්පතිකමට සුදුසු නිලධාරියෙක් කියන එක. පූජිත් ජයසුන්දර කියන්නේ විකටයෙක්. පූජිත් ජයසුන්දරත් එක්ක මේ රටේ පොලිසිය හදනව කියන එක දවල් හීනයක් කියල මම වගකීමෙන් කියන්න කැමැතියි. යුද්ධය ඉවර කරන්න උදවු කරපු නිසා සරත් ෆොන්සේකා මහත්තයාට අපි ගරු කරනවා. 

දැන් සරත් ෆොන්සේකා මහත්තයා ඔබතුමා තමයි වළං කඩේ ගොනා වගේ හැසිරෙන්නේ. අනෙක් කට්ටිය නෙවෙයි. ඔබතුමා මේ රටේ ඉන්න දාමරිකයෝ, පාතාලයෝ තියාගෙන ඔබතුමාව ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. යහපාලනයේ නාමයෙන් අවංක නිලධාරීන් ආරක්ෂා කරන එක තමයි කරන්න ඕන කියා අපි සරත් ෆොන්සේකා මහත්තයාට මතක් කර දෙන්න කැමැතියි”

– mawbima

No comments:

Post a Comment

Post Bottom Ad