වැලිකඩ කාන්තා අංශ භාර නිලධාරිනියන් හා සිරකාරියන් අතර ගැටුම සමථයකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 13, 2018

වැලිකඩ කාන්තා අංශ භාර නිලධාරිනියන් හා සිරකාරියන් අතර ගැටුම සමථයකට

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය භාර නිලධාරිනියන් පිරිසක් හා සිරකාරියන් පිරිසක් අතර පෙරේදා (11දා) පස්වරුවේ පැය දෙකකට අධික කාලයක් තිස්සේ ඇති වූ මත ගැටුම්කාරී තත්ත්වයක් වැලිකඩ
බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු උසස් නිලධාරීන් කීප දෙනකුගේ මැදිහත්වීම මත සමථයකට පත්කර ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

එකී කාන්තා අංශයේ රඳවා සිටින සිරකාරියන් සියලු දෙනා එදින පස්වරු 3ත් 4ත් අතර කාලය තුළ සිරමැදිරිවලින් එළියට පැමිණ නැවත

ඇතුළට යෑම ප්‍රතික්ෂේප කරමින් එහි ආරක්ෂාව භාරව සිටි නිලධාරීන් සමඟ එසේ මත ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගෙන ඇති බවද අනාවරණය වෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරි ධුරය භාරගත් නව අධිකාරිවරයා එම කාන්තා අංශය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගැනීම ඇතුළු එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන්ට විරෝධය පාමින් එකී මත ගැටුම්කාරී තත්ත්වය ඇති කරගෙන ඇති බවද දැනගැනීමට ලැබී තිබේ.

මේ තත්ත්වය පැය දෙකකට අධික කාලයක් තිබී ඇති බවත් පසුව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එකී අංශය වෙත ගොස් එම මත ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කොට සිරකාරියන් සිරිමැදිරි තුළ රඳවා තබා ඇති බවද අනාවරණය වේ.

මෙම තත්ත්වය ඇති වීම පිටුපස පසුගිය දිනක මෙම අංශයේ සිට ස්ථාන මාරු වී ගිය නිලධාරිනියක් සිටින බවද විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.
කුමුදු උපුල් ශාන්ත

No comments:

Post a Comment

Post Bottom Ad