බණ්ඩාරගම නිවෙසක ඇඳ යටින් හය වසරකට පෙර අතුරුදන් වූ තාත්තා හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 19, 2018

බණ්ඩාරගම නිවෙසක ඇඳ යටින් හය වසරකට පෙර අතුරුදන් වූ තාත්තා හමුවෙයි


වසර හයකට පමණ ඉහතදී මොරටුවේ නිවෙසකින් අතුරුදන් වූ පුද්ගලයකු බණ්ඩාරගම නිවෙසක  අඳක් යට සැඟව සිටියදී ඔහුගේ පුතු සහ දියණියට හසු වී පහර දී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. තුවාල ලද 56
හැවිරිදි එම  පුද්ගලයා රෝහල් ගත කර ඇති  අතර පහරදීම සම්බන්ධයෙන් සැකපිට එම පුද්ගලයාගේ පුතා, දියණිය, ලේලිය හා බෑනා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පහර කා තුවාල ලද එම පුද්ගලයා වසර හයකට පෙරදී අතුරුදන් වීම සම්බන්ධයෙන් එම දිනවල ඔහුගේ බිරිය මොරටුව පොලිසියට පැමිණිලි කර තිබූ අතර සිය ස්වාමිපුරුෂයා සොයා දෙන ලෙස ඉල්ලමින් තම පුතු  සහ දියණිය සමඟ විවිධ දේවාලවලට  ගොස් කන්නලව් කරමින් සත්තර අසා ඇති අතර එහිදී පැවැසී ඇත්තේ ඔහු ජීවතුන් අතර සිටිනා බවය. පියා අතුරුදන් වීමෙන්

ඇති වූ  ඔහුගේ දුක බෙදා ගැනීමට අතුරුදන් වූ පුද්ගලයාගේ පුත්‍රයාගේ නැන්දම්මා පුතා විවාහ වී සිටින තැනැත්තියගේ මවද එක් වී ඇතැයි පොලිසිය කියයි.

ඇය පානදුර ප්‍රදේශයේ ආයතනයක නේවාසිකව රැකියාව කරන්නියක් වූ බව ද පැවැසේ. අතුරුදන් වූ තම පියා බණ්ඩාරගම ප්‍රදේශයේ නිවෙසක සිටින බවට සැකකාර පුතුට ලද තොරතුරක් අනුව භාර්යාව, දුව, පුතු මෙම දුවගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ දරුවන් ද සමඟ එම නිවෙස සොයා පැමිණ ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එහිදී දරුවන් දෙදෙනා මෙන්ම මුනුපුරු මිණිපිරියන් දුටු එම පුද්ගලයා වහා නිවෙස තුළට කඩා වැදී ඔවුන්ගෙන් වසන් වීම සදහා ඇඳ යටට රිංගා ඇති අතර එයින් කුපිත වූ දියණිය සහ පුතු සිය පියා ඇඳ යටින් පිටතට ගෙන මේ පහරදීම කර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තම පියා වසර හයක කාලයක් ජීවත්ව ඇත්තේ තම නැන්දම්මා සමඟ බව එම නිවෙසේ සිටි ඇයව දැකීමෙන් තේරුම් ගත් පුත්‍රයා ඇයව ද බණ්ඩාරගම පොලීසිය වෙත කැඳවීමට ක්‍රියා කරන්නැයි ඉල්ලීමක් කළ බව පොලිසිය කියයි.  ඇය පානදුර ප්‍රදේශයේ රැකියා ස්ථානයේ නතර වී සිටින බව හඟවමින් මේ පුද්ගලයා සමඟ කල් ගෙවා ඇති අතර සතියකට වතාවක් කිසිදු සැකයක් ඇති නොවන පරිදි මොරටුව නිවෙස වෙත යෑමට පුරුද්දක් කරගෙන තිබු බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කෞශල්‍ය නාකන්දල මහතා පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad