පුබුදු මාෂි ආදර කතාව ගැන විවාහයට පෙර පුබුදු කිව්ව විස්තරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 15, 2018

පුබුදු මාෂි ආදර කතාව ගැන විවාහයට පෙර පුබුදු කිව්ව විස්තරේ

ජනප්‍රිය නළු පුබුදු චතුරංග හා මාෂිගෙ විවාහ උත්සවය අද 15 කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් පුබුදු පසුගියදා පුවත්පතකට පවසා තිබුණ තොරතුරුයි

පුබුදු කූඩු වෙන්නයි ලෑස්ති වෙන්නේ  ?

ඔව්, කැලේ ඇතුළේ නිදහස් වෙලා ඉඳලා ඇතිවුණා. ඒ නිසා කූඩුව ඇතුළේ නිදහස භුක්ති විඳින්නයි මේ ලෑස්ති වෙන්නේ.


ඒ කියන්නේ අලුත් ජීවන කූඩුව ඇතුළෙත් පුබුදුට නිදහස ලැබෙයි කියලා හිතනවද ?

වින්ද නිදහස ඇති. විවාහ ජීවිතය ඇතුළේ වෙනස් නිදහසක් ලැබෙයි.

හිත බැඳුණු මාෂිගේ මුල්ම හමුවීම මතක් කරන්න අකැමැති නැතුව ඇතිද ?

මාෂියි මමයි ඉන්නේ ළඟපාත ගෙවල් දෙකක. හැබැයි මම අවුරුදු ගාණක් තිස්සේ ඇයව දැකලා තිබුණේ නෑ. අහම්බෙන් එක දවසක් දැක්කා. දැකලා හායි කියලා කතා කළා විතරයි.

දැක්ක ගමන් හිත බැඳුණේ නැද්ද ?

දැක්ක ගමන් මට හිතුණේ මෙච්චර ලස්සන ගැහැනු ළමයෙක් සිනමාවට සම්බන්ධකරගන්න තිබ්බනෙ කියලා. එතැනින් එහාට දෙයක් එදා හිතුණේ නැහැ. ආශ්‍රය කරද්දි තමයි එයාගේ ගතිගුණ මට පෙනුණේ.

එතකොට පුබුදුට ආයෙත් මාෂිව මුණගැහුනේ කවද්ද ?

ඊට වසරකට විතර පස්සේ මාෂි මට ආරාධනා පත්‍රයක් දෙන්න ආවා එයාගේ පාසලේ බැට්ච් පාටි එකට ආරාධිතයෙක් විදියට එන්න කියලා. එදා බැට්ච් ක්වීන්ට කිරුළු පලඳන්න පැවරුණේ මට. මාෂි තමයි එතැන හිටපු ලස්සනම සහ දක්‍ෂතම කෙනා. ඒ නිසා මම ඇයට කිරුළු පැලඳුවා. ඊට පස්සේ තමයි අපේ මිත්‍රත්වය වැඩිදියුණු වුණේ. එයාගේ පවුලේ අයත් මට හඳුනගන්න ලැබුණා.

කිරුළු පැලඳුව මාෂිට ආදරය ප්‍රකාශ කළේ කොහොමද ?


මම මිත්‍රදාන කියලා සංගමයක් හදාගෙන අසරණ මිනිස්සුන්ට උදවු උපකාර කළා. 2013 දෙසැම්බර් 25 වැනිදා මිත්‍රදාන සංගමයෙන් බෝධි පූජාවක් කළා කළුතර බෝධියෙදී. ඒ බෝධි පූජාවට ගිහින් තමයි මම පළමු වතාවට ඇයට ආදරෙයි කිව්වේ.

ඇය එකපයින් කැමැත්ත ප්‍රකාශ කළාද ?

ආදරය ප්‍රකාශ කළ දවසේ මාෂි මුකුත් කිව්වේ නෑ. ඇගේ කැමැත්ත ලැබෙන්න කාලයක් ගියා. සියලු ශිල්ප දක්වලා මාස හය හතකට විතර පස්සේ ඇගේ කැමැත්ත ගත්තා.

මාෂි ගණන් උස්සලා නේද ?

ඔව්. ඔව් එයා ගණන් ඉහළටම ඉස්සුවා.

පුබුදු මාෂිව ජීවන සහකාරිය විදියට තෝර ගන්නත් විශේෂ කාරණයක් තියෙන්න ඇති ?

ඇගේ විශේෂම ලක්‍ෂණය තමයි එයා පවුලට ඉතාම ආදරය කරන කෙනෙක්. මම හැමදාම හිතුවේ මම ආදරය කරන කෙනා කවුරු වුණත් ඇය තමන්ගේ පවුලට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. පෙම්වතාට විතරක් ආදරය කරන කෙනෙක් ඇතුළේ ඇත්තටම ආදරය කියන දේ නැහැ. ඇත්ත ආදරය තියෙන්නේ තමන්ගේ පවුලේ අයට හැම කෙනාටම ආදරය කරන කෙනා ඇතුළේ. මම ඒ විශේෂ ලක්‍ෂණය ඇයගෙන් දැක්කා. එයා හැමෝගෙම ආදරය එක්ක හැදුණු කෙනෙක්. ඇය තුළ අතිරික්ත ආදරයක් තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා මම ඇයට පළමුවෙනියටම කැමැති වුණේ.

පුබුදුගේ හිත ඇයට බැඳෙන්න ඇගේ ලස්සන කියන කාරණය බලපෑවෙම නැද්ද ?

ඇයගේ රූපයට වඩා මට හිත ගියේ ඇගේ ගතිගුණවලට. රූපය කියන්නේ බෝනස් එකක් විතරයි. ඒක අනිත්‍ය කාරණයක් කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා රූපය ගැන හිතනවාට වඩා ඊට එහා ගිය දෙයක් තමයි විවාහය කියන්නේ. වගකීම් රාශියක් තියෙන වැඩක්. ඒ නිසා වගකීම් දරන්න පුළුවන් කෙනෙක් ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. ඒ කෙනා හොයාගන්න මම සෑහෙන කාලයක් ගත්තා. මම විශ්වාස කරනවා මාෂි මට සුදුසු කෙනා කියලා. ඒ නිසා ඇය සමඟ ඉතුරු ගමන යන්න තීරණය කළා.

සුදුසු කාලේ සුදුසු තෝරා ගැනීමද පුබුදු කළේ ?


ඔව්. මම සියලු දේ ගැන ඉවසලා කල් අරගෙන තමයි තීරණ ගන්නේ. මේ තීරණයත් එහෙමයි.

පුබුදුගේ රංගන කටයුතුවල තෝරා ගැනීම්වලට මාෂි අත දාන එකක් නැද්ද ?

තාම නම් එහෙම කරදරයක් නෑ. නිදහස කියන දේ ගැන මම හිතනවා. මාෂිත් ඒක දන්නවා. මම කරන්නේ වෘත්තීයමය රාජකාරියක් කියලා. එයා මාව තේරුම් අරගෙන ඉන්නවා.

පුබුදු කාර්යබහුල කෙනෙක්. ඔය කාර්යබහුලත්වය එක්ක විවාහ ජීවිතයට පවුලට කාලය වෙන් කර ගන්න පහසු වෙයිද ?
මම අවුරුදු දහයකට වැඩි කාලයක් සිනමාව වෙනුවෙන් කැප කළා. හැබැයි මිනිහෙක්ගේ ජීවිතේ පළමු තැන පවුල. දැන් මටත් අංක 01 පවුලට දෙන්න පුළුවන්. මොකද සිනමාවේ ඇතුළේ යන්න ඕන බාධක ටික මම මඟහැරගෙන ඉවරයි. දැන් තියෙන්නේ කල්පනා කරලා හොඳ නිර්මාණවලට දායක වෙන්න. ඒක ඉවසීමෙන් කරන්න පුළුවන් කටයුත්තක්.

විවාහය නිසා රංගන කටයුතුවලට නිවාඩුවක් දුන්නා කියලත් ආරංචියි ?

ඔව්. විවාහයේ කටයුතු සැලසුම් කරන්න ඕන නිසා මම මාස හතරක් තිස්සේ රඟපෑවේ නැහැ. වේදිකා නාට්‍ය විතරයි මේ කාලය තුළ කළේ. මම රඟපාන නිර්මාණවල වැඩකටයුතු පටන් ගන්න එක අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකවරු අප්‍රේල් මාසයෙන් පස්සට දාලා තියෙන්නේ. අප්‍රේල් මාසයෙන් පස්සේ කරන්න චිත්‍රපට හතරක් සූදානම් කරලා තියෙන්නෙ. තවත් අලුත් වේදිකා නාට්‍යයක් සහ එක ටෙලි නිර්මාණයකටත් මේ අවුරුද්දේ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

මාෂිව දැක්ක මුල්ම දවසෙම පුබුදුට හිතුණේ ඇයව නිළියක් කළා නම් හොඳයි කියලා. දැනුත් පුබුදු කැමැතිද බිරිය නිළියක් කරන්න ?

සිනමාව කියන්නේ මගේ දෙවැනි මව වගේ. මගේ දෙවැනි මව ගාව මගේ බිරිය තියන්න අකැමැති නැහැ. මොකද මම සිනමාවට ඒ තරම් ආදරෙයි. විශේෂයෙන් මම නිර්මාණය කරන දේවල් ඇතුළේ ඇයට ඒ අවකාශය ලැබෙයි. අපි දෙන්නා සම්බන්ධ වෙන එක චිත්‍රපටයක භාගයක් රූගත කරලා අවසන්. ඒක උදයකාන්ත වර්ණසූරිය සහ ඉන්දියානු ශිල්පීන් එකතුවෙලා කරපු දැවැන්ත චිත්‍රපටයක්. විවාහයෙන් පස්සේ එහි රූගත කිරීම් ආරම්භ කරනවා.

සැබෑ ජීවිතයේදී වගේම සිනමාවෙත් පුබුදුයි මාෂියි හොඳ සුසංයෝගයක් වෙන්නද ලෑස්තිය ?
ඇත්තටම මම මාෂිට මුලින්ම කිව්වා සිනමාව ඉගෙන ගන්න කියලා. මම ඇයව රංග පාසලකටත් දැම්මා. මොකද රංගනය කියන විෂය හදාරන්න ඕන. නැත්නම් මගේ බිරිය කියලාවත් රඟපාන්න දන්නේ නැත්නම් මම සිනමාවට ගේන්නේ නැහැ. ඇය විෂය හදාරලා අභ්‍යාස කරලා පුහුණුවීමක් විදියට මාත් එක්ක චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා. හැබැයි ඇගේ රංගනය දැකපු බොහෝ අය කියන්නේ ඉතාමත් විශිෂ්ට රංගනයක ඇය යෙදෙනවා කියලා. ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රතිචාරයත් කොහොමද කියලා බලමු.

ඒ කියන්නේ මාෂිත් ඔබ වගේම සම්මානනීය චරිතයක් වෙයිද ?

ඇගේ දක්‍ෂතාව, හැකියාව, සහ ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රතිචාරය මත ඒක රදා පවතිනවා. ඇගේ ගමන කොහොම වෙයිද කියලා අපි බලමු. ඇගේ කළමනාකරණ උපාධියේ අවසන් වසරේ හැදෑරීම් තියෙනවා. ඒ අතරේ පුළුවන් විටකදී තමයි ඇයට රංගනයට දායක වෙන්න වෙන්නේ. මේ සමග පළවන්නේ පූර්ව විවාහ ඡායාරූප එකතුවයි.
http://www.gallery.gossiplankanews.com/wedding/pubudu-chathuranga-wedding.html
Pix By -Dhanushka Senadheera

No comments:

Post a Comment

Post Bottom Ad