‘වඳ පෙති කියා දෙයක් නැත‘ වෘත්තීය වෛද්‍ය මණ්ඩලයක් තහවුරු කරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 15, 2018

‘වඳ පෙති කියා දෙයක් නැත‘ වෘත්තීය වෛද්‍ය මණ්ඩලයක් තහවුරු කරති


‘වඳ පෙති කියා දෙයක් නැත‘
වෘත්තීය වෛද්‍ය මණ්ඩලයක් තහවුරු කරති

පසුගියදා රටපුරා ආන්දෝලනයක් ඇති කළ සහ  විවිධ විද්වතුන්ගේ නිර්වචනයන්ට බඳුන් වූ ‘වඳ පෙත්ත‘ පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කළ මාධ්‍ය හමුවක් අද(15) දහවල් කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශාලාවේදී පැවැත්වුණි.
වෛද්‍යවරුන් පිරිසකගෙන් යුත් මණ්ඩලයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී මෙහිදී අදහස් පළ කර තිබුණ අතර ඔවුන් එහිදී තහවුරු කර ප්‍රකාශ කර සිටියේ
ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට
සැලකිය යුතු බලපෑමක් ඇතිකළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ

නොමැති අතරම එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නොමැති බවයි.
මෙම හමුවට එක්වූ වෛද්‍යවරුන්ගේ ලැයිස්තුව පහළ තිබේ.


ඔවුන් නිකුත් කළ පැහැදිලි කිරීම පහත පරිදිය.

------------------------

ඖෂධ පෙති මගින් නිසරුබව ඇති කළ හැකිද?

අපි ශ්‍රී ලංකාවෙහි සෞඛ්‍ය සේවයෙහි නියුතු ජ්‍යෙෂ්ඨ ‍වෛද්‍යවරු පිරිසක් වෙමු.
ආහාර සමග වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජය තුළ ඇතිව තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක් බව අපි සිතමු. මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති අසත්‍ය ප්‍රකාශයක් බව අපි වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.
ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණ්ඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම කිසිසේත් කළ නොහැකි බවද අවධාරණය කරමු.

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සරු බවට එනම් දරු ගැබක් පිහිටීමට බලපාන කරුණු රාශියක් තිබේ.
පුරුෂයකු ගේ සරුබව සඳහා ඔහුගේ ශුක්‍රාණුවල නිසි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය මෙන්ම ප්‍රශස්ත සංඛ්‍යාවෙන් ශුක්‍ර තරලයේ තිබීම අත්‍යවශ්‍ය වේ. මේවායින් තරමක හෝ අඩුවක් ඇති අවස්ථාවක පුරුෂයක හට කාන්තාවක් ගැබ් ගැන්වීමට ඇති හැකියාව අඩු වේ.

මෙය මදසරුබව යනුවෙන් හඳන්වනු ලබන අතර කලාතුරකින් එය දරුපල නොමැති එනම් වඳ තත්වයක් දක්වා වර්ධනය විය හැක.
මෙවැනි කරුණු ස්ත්‍රියකගේ සරුබවටද බලපායි.

දැනට පාවිච්චිය සඳහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිචිචිය සඳහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි. පුරුෂයකුගේ තාවකාලික වඳබවක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත.

ඇතැම් රෝගවලට දීර්ඝකාලීනව භාවිතා කරන ඖෂධ හේතුවෙන් මදසරු බව ඇති වීමට ඉඩක් තිබුණද එම ඖෂධ තනි මාත්‍රාවක් හෝ මාත්‍රා කිහිපයක් පාවිච්චියෙන් එවන් තත්වයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැත. ඖෂධ මගින් ඇති වන මද සරුබව එම ඖෂධ භාවිතය නැවැත්වූ විට යථා තත්වයට පත් වේ.

මේ ඖෂධ ලබා ගැනීම සඳහා ලියාපදිංචි බටහිර වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කිරීම අතවශ්‍ය වේ.
සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇතිකළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක්ද නොමැති බවද අපි අවධාරණය කර සිටිමු.
මෙහි පහත නම් සදහන් අපි ස්වේච්ඡාවෙන් මෙම කරුණු දැක්වීමට ඉදිරිපත්වූ ඔබත් මේ සදහා වූ සියළු වියදම් අප විසින් දරන ලද බවත්  ප්‍රකාශ කර සිටිමු.

  • කායික රෝග විශේඥ වෛද්‍ය අනුලා විජේසුන්දර
  • ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ස්නානායක
  • ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතා ප්‍රනාන්දු
  • කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණි ද සිල්වා
  • ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය සමත් ගුණතිලක
  • ප්‍රජනන වෙද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න
  • හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක
  • මහාචාර්ය රෝහිනී ප්‍රනාන්දුපුල්ලේ

No comments:

Post a Comment

Post Bottom Ad