බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'


ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ සුරතල් සිඟිති දියණිවරු දෙදෙනෙක් සිටිති. පසුගිය සති අන්තයක ඔහු කිසියම් රාජකාරී අවශ්‍යතාවක් සඳහා නගරාන්තර  බසයකින් මහනුවර යාමට පිටත් වුණි. බසයේ ඔහු සමීපයේ වාඩි වී සිටියේ අතිශය රූමත් කාන්තාවකි. බසය පෑලියගොඩ, කිරිබත්ගොඩ, කඩවත පසුකරත්ම කාන්සිය මකාගැනීම සඳහා ඔහු එම කාන්තාව සමඟ කතා බහකට එළඹිණි. එහිදී ඇය ද කිසිදු පැකිලීමකින් තොරව ඔහු හා කතා බහට පිවිසි අතර බසය ඉදිරි‍යට ඇදෙන වේගයෙන්ම ඔවුන්‍ දෙදෙනාගේ සුහදත්වයද වර්ධනය විය.  

තමන් කලක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වී සැමියාගේ නොපනත්කම් දරාගත නොහැකිව ඔහුගෙන් වෙන්වී ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් දැනට පදිංචිය මහනුවර ප්‍රදේශයේ පිහිටි තම මහගෙදර බවත් ඇය ඔහු හා කියා සිටියාය. එහිදී මෙම විධායක නිලධාරියාගේ සිත ඇගේ රූප සොබාව කෙරෙහි කොතරම් ඇදීගියේද යත් උපායශීලීව ඇය තමන් වෙතට නතු කර ගැනීමට ඔහු මාන බැලීය. එහිදී ඔහු ඒ සඳහා යොදාගත්තේ තමන් ද විවාහ වී දරු දෙදෙනෙකු සිටින මුත් බිරිඳගේ අකාරුණික කම මත තම යුග දිවියේ එතරම් තෘප්තියක් නැතැයි යන පට්ටපල් බොරුවය. එමෙන්ම තමන් සහ බිරිඳ අතර කායික සබඳතාද මේ වන විට මුළුමනින් ඇණහිට ඇතැයි ඔහු ඇයට කියා සිටියේ ඇගේ අනුකම්පාව දිනාගනු පිණිසය. බසය මාවනැල්ල, හිඟුල පසුකොට කන්ද උඩරටට සේන්දුවන විට මොවුන් දෙදෙනාගේ හිතවත් කමද කෙමෙන් ඉහළම තැනකට පත්වෙමින් තිබිණ.
"මම වයිෆ් ගෙන් දික්කසාද වෙලා ආවොත් ඔයා මට කැමති වෙනවද?"
බසය මහනුවරට ළංවන අතරේ ඔහු ඇගේ කනට මුව තබා ඇසීය.
"සත්තකින්ම"

ඇය ඔහුගේ අත්ල මත අත්ල තබමින් කීවාය.
කෙසේ හෝ ඇය ඔහුගෙන් මහනුවරදී සමුගත්තේ දින කිහිපයකින් යළි අගනුවර පැමිණ ඔහුට ඇමතුමක් දෙන බවට පොරොන්දු වෙමිනි. එමෙන්ම මහනුවර තම වැඩිහිටියන් සහ පවුලේ සාමාජිකයන් සමඟ වෙසෙන බැවින් ඒ දින කිහිපය තුළ දුරකතනයෙන් නිදහසේ කතා කළ නොහැකි බවද ඇය ඔහුට කියා සිටියාය. කෙසේ හෝ එදින සවස් යාමයේ ඔහු මහනුවර සිට යළි අගනුවර බලා පැමිණි අතර ඊට පසු සෙනසුරාදා ඔහුගේ නිවසේ දී ඔහුගේ බිරිඳ හිටිහැටියේ ඔහු වෙත කඩා පැන්නාය.
"ඔයා කාට හරි ගෑණියෙකුට කිව්වද මාව ඩිවෝස් කරලා ඒ ගෑණිව බඳිනව කියලා."
ඔහුගේ බිරිඳ හැපින්නක් මෙන් ඔහු වෙත කඩා පනිමින් ඇසුවාය.
"මොන පිස්සුද මම?"
නගරාන්තර බසයේ දී වූ සිදුවීම සැනින් සිහියට ආ මුත් ඔහු ඒ බවක් නොහඟවා බිරිඳගෙන් ප්‍රශ්න කළාය.
"බොරු විතරක් කියන්න එපා තේරුණාද?"
බිරිඳ ආවේශ වූ කළෙක මෙන් කෑ ගැසුවාය.
"මාත් එක්ක එකට ඉගෙන ගත්තු යා‍ළුවෙක් දන්න ගෑණුකෙනෙකුට ඔයා බස් එකකදි කියලා තියෙනවා. මම නපුරුයි, මගෙන් ඔයාට සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා මාව දික්කසාද කරලා ඒ ගෑණිව බඳිනවා කියලා. ඔයා දන්නවාද ඒ ගැණී ඔයා කියපු ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන බව."
බිරිඳගේ මෙම කතාව ඇසූ සැමියා අන්දුන් කුන්දුන් වූ අතර මේ වන විට මෙම ප්‍රවෘත්තිය බිරිඳගේ පාර්ශවයට සේම සැමියාගේ කාර්යාලයටද සැල වී ඇත. මෙම සිදුවීම පිටුපස කවුරුන් හෝ සැලසුම් කළ කිසියම් රහසිගත වැඩපිළිවෙලක් තිබේදැයි සෙවිය යුතු මුත් සමාජයට මුහුණ නොදී සැඟවෙනු මිස ඒ පිළිබඳව සිතීමටවත් දැන් ඔහුට මානසික නිදහසක් නැත. ඒ අද වන විට බිරිඳ තමන්ට සිදුකළ ලැජ්ජාව සහ අපකීර්තිය මුල්කොට දරු දෙදෙනාද සමඟ සිය මහගෙදර ගොස් ඇති බැවිනි.
දමයන්ති ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad