ක්‍රිකට් ආයතනය තරග විකාශ අයිතියට SLBCයට කොකා පෙන්නලා? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

ක්‍රිකට් ආයතනය තරග විකාශ අයිතියට SLBCයට කොකා පෙන්නලා?


ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තරග විකාශයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නොතකා හරිමින් කටයුතු කිරීමට මෑතක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසකගෙන් චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

අවසන්වරට පැවති තරග දෙකම සියත සහ රස ගුවන් විදුලි නාලිකාවලට තරග විකාශ අයිතිය ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත වරක් එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේදී ගුවන් විදුලි විකාශ අයිතිය රස ගුවන් විදුලි නාලිකාවට ලබා දී ඇතැයි පැවසේ.



මේ හේතුවෙන් වැඩිදෙනෙකුට පහසුවෙන් හා පැහැදිලිව ත්‍රිකට් තරග විකාශයට සවන් දීමට නොහැකිවී ඇති බවට ක්‍රිකට් රසිකයෝ චෝදනා කරති.

එසේම මෑත භාගයේ තරග විස්තර විචාරකයන් ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයට වන්දිභට්ට කටයුතු කරන අය යොදා ගැනීම නිසා එම විස්තර විචාරයන්ද දියාරු වී ඇතැයි ඔවුහු කියති.

මොවුන් ක්‍රිකට් තරගයේ අවස්තා විචාරය කිරීමට වඩා ක්‍රිකට් පාලකයන්ගේ ගුණ කථන වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කරණ බවද ඔවුන් නගන තවත් චෝදනාවකි.

පට්ට චාටර් ක්‍රිකට් වෙබ් රේඩියෝව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා සජීවී විස්තර විචාරයේදි ඒ සඳහා වැඩි ජනතාවකට ශ්‍රවණය කිරීමේ හා දර්ශනය කිරීමේ හැකියාව ඇති එමෙන්ම රාජ්‍ය නාලිකාවලට මුල් තැන ලබාදිය යුතුබවට කැබිනට් පත්‍රිකාවක් පවා තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එම අවස්ථාව අහිමි කිරීම පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට ද රාවයක් පැතිර ගොස් තිබේ.

එසේම ඒ පිටුපස කලක් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ක්‍රීඩා අංශයේම සේවයකොට විවිධ දූෂණ අක්‍රමිකතා හේතුවෙන් සේවයෙන් පහකරන ලද අයෙකු සිටින බව බවද පැවසේ. ව්‍යාජ උප්පැන්න සහතිකයක් භාවිතා කිරීම, විදෙස් සංචාර සඳහා ලක්ෂගණනින් මුදල් රැගෙන විස්තර විචාරවලට කිසිසේත් සම්බන්ධ නොවන පුද්ගලයන් රැගෙනගොස් අදාල රටවලට රැකියාවලට යොමු කිරීම වැනි චෝදනා රැසකි. වරදකරුවකු වූ බැවින් මේ පුද්ගලයා ගුවන් විදුලි සංස්ථාවෙන් කලකට පෙර ඉවත්කර ඇත. 

මොහු මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පෞද්ගලික විස්තර නිවේදකයා ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ආයතනය තුළ ද්විත්ව රංගනයක යෙදී සිටියි. මොහුගේ පැවැත්ම සඳහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ කිසිදු ආදායමකින් තොරව අතිවිශාල වියදමකින් වෙබ් රේඩියෝවක් ආරම්භකර ඇති අතර ඔහු පෞද්ගලිකවම වෙනත් ගුවන් විදුලි නාලිකා සමඟ සම්බන්ධ වෙනාමින් තරග විස්තර විචාරය ක්‍රිකට් ආයතනයේ වෙබ් රේඩියෝව සමඟ ඒකාබද්ධව පවත්වාගෙන යයි.

ක්‍රිකට් ආයතනයෙන් යැපෙන CSN අනාථයෝ

මේ හේතුව නිසාම සජීවී විස්තර විචාරය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලක්ෂ 07ක මුදලක් ගෙවිමට සූදානම් වුවත් එය ප්‍රතික්ෂේප කර වෙබ් රේඩියෝවට ද යන වියදමට තවත් මුදලක් එකතු කරමින් වෙනත් ප්‍රසිද්ධ නොවන පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වලට ක්‍රිකට් ආයතනයේ විකාශය අයිතිය ලබාදෙන බව වාර්තා වේ. මීට පෙර නිශාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් හා CSN ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ අවධියේද රාජ්‍ය නාලිකාවලට අවස්ථාව ලබා නොදී මේ ආකාරයටම CSN නාලිකාවට තරඟ විකාශන අයිතිය ලබාදුන්නේය.

මේ අතර ඉතාම සුළු පිරිසක් ශ්‍රවනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් රේඩියෝවෙන් ක්‍රිකට් ආයතනයට කිසිදු ආදායමක් ලබාගැනීමට නොහැකිව ඇතත් මාෆියාවක් බවට පත්කරගත් සුළු පිරිසක් වෙනුවෙන් මේවන විට රුපියල් මිලියන ගණනාවක් වැයකර තිබේ. වෙබ් රේඩියෝ ප්‍රධානියා ලෙස මීට මාස කිහිපයකට පෙර ප්‍රවීන විස්තර විචාරකයකු රුපියල් ලක්ෂ 03ක පමණ වැටුපකට පමණ බඳවාගෙන ඇති අතර ඔහු නිකම්ම පුටු රත්කරන්නකු බවට පත්ව ඇත.

ජෙරොම් ජයරත්න, රවින් වික්‍රමරත්න යන නිලධාරීන් මෙම විකාශ කටයුතු ලබාදීම පිළිබඳ වගකීම දරති. මේ අතර මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සෑම සතිඅන්ත තරගයක්ම ඩයලොග් ටීවී හරහා විකාශ කිරීමද සිදුකෙරේ. මේ සඳහා ඩයලොග් ආයතනය සමඟ ගිවිසුමක් ඇතිකරගෙන ඇතත් තරඟ සජීවී ආවරණය ක්‍රිකට් ආයතනයේ වියදමින් වෙනත් පෞද්ගලික ආයතනයකට පවරා තිබේ. මිලගණන් ටෙන්ඩර් කැඳවීම් හරිහැටි නොකර මේ තරග ආවරණය ලබාදී ඇත්තේ ද CSN ආයතනයේ සේවයකොට මේවන විට පෞද්ගලික සමාගමක් අටවාගෙන සිටින අයකුටය.

රවින්ගෙ මස්සිනා !

එම ආයතනයේ ප්‍රධානියා රවීන් වික්‍රමරත්න මහතාගේ සමීපතම ඥාතියකුවීමද විශේෂත්වයකි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරග විකාශ සම්බන්ධ කටයුතු දැන් සිදුකරනු ලබන්නේ ජාතික වැදගත්කම හා කැබිනට් නියෝග ටෙන්ඩර්පටිපාටි නොතකා එහි කිහිපදෙනෙකුගේ අවශ්‍යතා අනුව බවට බරපතල චෝදනාවක් ගොනුවෙමින් පවතී.

මේ සියල්ල දකිමින් ක්‍රිකට් සභාපතිවරයාද මර නින්දේ පසුවේ.

- විශේෂ ලියුම්කරුවකු විසිනි

srilankamirror.com

No comments:

Post a Comment

Post Bottom Ad