සතොසෙන් වාර්තාගත ලාභයක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 13, 2018

සතොසෙන් වාර්තාගත ලාභයක්.

රජයේ පාලනය යටතේ තිබෙන විශාලතම අලෙවිසැල් ජාලය සහිත ලංකා සතොස පසුගිය වසරේදී (2017) රුපියල් මිලියන 1000 ක වාර්තාගත මෙහෙයුම් ලාබයක් උපයා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

මේ වන විට ලංකා සතොස අලෙවිසැල් 400 ක් දිවයින පුරා විහිදී පවතින අතර 2018 වසර තුළදී ලංකා සතොස නව අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසේ. ඒ අනුව සතොස අලෙවිසැල් ජාලය 500 දක්වා ඉහළ යනු ඇත. මෙම නව අලෙවිසැල් 100 න් 25 ක්ම සුපිරි මෙගා අලෙවිසැල් වන අතර එහි පළමු සුපිරි මෙගා අලෙවිසැල පසුගිය ජනවාරි 05 වන දා වැලිසරදී විවෘත කෙරුණි.

මෙම සුපිරි මෙගා අලෙවිසැල් සඳහා සතොස සැපයුම්කරුවන්ගේ දායකත්වය ලබා ගනී. මීට අමතරව දැනට පවතින සතොස ජංගම අලෙවි රථ සංඛ්‍යාව 25 සිට 100 දක්වා වැඩි කිරීමට ද මේ වසරේදී බලාපොරොත්තු වේ. මෙම ජංගම අලෙවි රථ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, ග්‍රාමීය පොළවල්, ජනාකීර්ණ ස්ථාන හා නගර ආදී විවධ ප්‍රදේශවල අලෙවි කටයුතුවල යෙදීමට සැලසුම් කර ඇත. මීට අමතරව ලංකා සතොස වරලත් අලෙවිසැල් 8000 ක වෙළඳ ජාලයක් පෞද්ගලික අංශයේ සිල්ලර වෙළෙඳුන් සමඟ ආරම්භ කිරීමට ද අපේක්‍ෂිතය.

මේ තොරතුරු අනාවරණය කරන කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කියා සිටියේය.

'' මා භාර ගන්නා විට පාඩු ලබමින් තිබූ ලංකා සතොස, 2017 අවසානය වන විට රුපියල් බිලියන 01 ක් හෙවත් රුපියල් මිලියන 1000 ක වාර්තාගත මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමත්ව සිටිනවා. අප ගෙවී ගිය වසර තුළ දී මානව සම්පත් දායකත්වය, නාස්තියකින් තොරව, නිවැරදිව, කාර්යක්‍ෂමව හා ඵලදායීව මෙහෙයුම් කටයුතුවලට යොදා ගැනීම නිසාත්, ප්‍රවාහන මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම නිසාත්, අපට රු. බිලියන 2.8 ක් ඉතිරි කර ගැනීමට හැකි වුණා”.

No comments:

Post a Comment

Post Bottom Ad