වර්තමානය වෙද්දි නම් කලාකරුවන් කියන නාමය තරමක් හෑල්ලු වෙලා තියනව තමයි. හැබැයි නියම කලාකරුවෙක් කියන්නෙ ජාතික සම්පතක් බව අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ අය තමයි රසික අපිට කලා නිර්මාණ ඇසුරින් ජීවිතේ වෙනස් වෙනස් පැති කඩවල් පෙන්නලා දෙන්නෙ, අපේ ජීවිත වලට අලුත් අත්දැකීම් සහ වින්දනයන් සමීප කරවන්නෙ.
එහෙවු කලාකරුවෙක්ව අකාලයේ මේ මිහිමතින් තුරන් කරනවා කියන්නෙ මහපොලොව නුහුලන අපරාධයක් බව කියන්නට ඕනෙ. අද අපි කියන්නට යන්නේ සිත් පිත් නොමැති ආකාරයට ඝාතනය කොට අපෙන් උදුරගත් අපේ කළාකරුවන් 5 දෙනෙක් ගැනයි. මේ ඝාතන වලින් බොහොමයක් අපේ ලක්බිමේ එක්තරා අන්ධකාර පරිච්ඡේදයකදී සිද්ධ වුණු අවාසානාවන්ත සිදුවීම් බවත් අපිට නොකියම බැහැ.
1. විජය කුමාරතුංග
විජය කුමාරතුංග ඝාතනය තරම් ලංකාවම සසල කරපු සිදුවීම් තව තිබෙනවානම් ඒ ඉතාම අල්පයක් විතරයි. “හන්තානේ කතාව” චිත්‍රපටයෙන් ප්‍රධාන චරිත නිරූපණයකින් සිනමාවේ සිය සටහන තබන විජය එතැන් පටන් සිංහල සිනමාවේ කඩවසම්ම සහ ප්‍රේමණීයම නළුවා හැටියට දිනෙන් දිනම ජනප්‍රියත්වයේ හිනිපෙතේ ඉහලටම ගමන් කරන්න සමත් වනවා. කවදාත් ජනතාවට ලෙංගතු පුද්ගලයෙකු වූ විජයව පසු කාලෙකදී දේශපාලඥයෙක් බවට පත්කලේ ඔහු සතුව පැවති ඒ මානව හිතවාදී ගුණය වන්නට ඇති.
දේශපාලනයේදී මෙන්ම රංගන ජීවිතයේදීද පරිණත තලයකට ළඟාවෙමින් ඉඳිද්දී තමයි විජයව අකාලයේ ඝාතනයට ලක්වන්නේ. 1988 පෙබරවාරි 16 වැනිදා හැටියට උදාවූ ඒ අඳුරු අඟහරුවාදාවේ මධ්‍යාහ්නය පසුවී සුළු වේලාවකට පසුව තමයි ඒ අවාසනාවන්ත මොහොත උදාවන්නේ. කිරුළපන තලකොටුව ගාඩ්න්ස් හි තමන්ගේ නිවස ඉදිරිපස රැඳී ඉන්න විජය වෙඩි වරුසාවකට ලක්වෙනව.
කිරුළපන සිට රතු පැහැති මෝටර් සයිකලයකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් තමයි මේ ඝාතනය සිදු කරන්නේ. මියයන විට විජයගේ වයස අවුරුදු 42ක් පමණයි. එකල මේ මරණය සඳහා චෝදනාව එල්ල වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නන්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටයි. එසේ වුවත් අදටත් විජයගේ ඝාතනය සම්බන්ධයෙන් නොවිසඳුණු අභිරහස් රාශියක් ඉතිරිව ඇති බව නොකියාම බැහැ.
2. ප්‍රේමකීර්ති ද අල්විස්
1988 පෙබරවාරියේදී විජයව අකාලයේ ඝාතනය කල ශෝකී ප්‍රවෘත්තිය අපිට ගුවන් විදුලියෙන් ඇසෙන්නේ ප්‍රේමකීර්තිගේ හඬින්. ඊට වසරකට පමණ පසු තමන්ටත් විජයගේ මෙන්ම ඉරණමක් උදාවේවියයි ප්‍රේමකීර්ති සිහිනෙන්වත් සිතන්නට නැතිව ඇති. විජය මෙන්ම ප්‍රේම්ද අපෙන් සමුගන්නේ ජීවිතයේ 42 වැනි කඩයිමේදීයි. බස් ටිකට් පතක් පිටුපස ‘ආදරයේ උල්පත වූ අම්මා’ ගීතය ලියූ, කුරා කුහුඹුවෙකුගේ ජීවිතය ගැන පවා සිතූ ප්‍රේමකීර්ති වැනි මිනිසෙක්ට එරෙහිව තුවක්කුවක් ඔසවන්නට සාහසිකයෙක්ට වුවත් කොහොම හැකි වුණිද යන්න ප්‍රශ්නයක්.
1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ ප්‍රේමකීර්ති තම බිරිඳ සහ පුතු සමග වාසය කළ හෝමාගම කටුවන නිවසට අලුගෝසුවන් කඩාගෙන වදිනවා. ඔවුන් ප්‍රේමකීර්තිව කැටුව යන්නෙ ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යන බව පවසමින්. නමුත් ඒ ගමන බොහොම කෙටි ගමනක් බවට පත්වෙනවා. සිත් පිත් නැති මෘගයින්ගේ කුරිරු වෙඩි පහරට ලක්ව අවසන් ගමන් යන්නට ප්‍රේමකීර්තිට සිද්ධ වෙනවා.
ප්‍රේමකීර්තිගේ මරණය සම්බන්ධව එකල චෝදනා එල්ල වන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. මේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුව දඬුවම් ලබන්නේ සමන් ප්‍රියංකර නැමැති තැනැත්තෙක්. එසේ වූවද ප්‍රේම්ගේ මරණයත් අද වෙනතෙක් අභිරහස් රැසක් සඟවාගත් සිදුවීමක් බව කිව යුතුමයි. ඔහුගේ මරණය පිටුපස ඇත්තේ වෙනත් හස්තයක් බවට ප්‍රේම්ගේ බිරිඳ ඇතුලු සමහරු චෝදනා කරනවා.
3. දම්මි ෆොන්සේකා
මෑත භාගයේ සිංහල සිනමා රසිකයෙක්ට දම්මි ෆොන්සේකා නම එතරම් හුරු පුරුදු නැතිවත් ඇති. එහෙම වුණත් 70 සහ 80 දශක වල ඇය රඟපෑ චිත්‍රපට 3ක් නිසාවෙන් ඇය ඉතාම ජනප්‍රියත්වයක් ලබාගත් නිළියක්. දම්මි ෆොන්සේකා තමන්ගෙ සිනමා ගමන අරඹන්නේ වසන්ත ඔබේසේකරයන්ගේ “පළඟැටියෝ” චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයකින්. ඉතාම රූමත් නිළියක් වූ දම්මි ඒ චිත්‍රපටයෙන් පසු ඉහල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගන්නට සමත් වනවා. ඉන් පස්සේ “ඉන්දුට මල් මිටක්” සහ “සිවු රඟ සේනා” කියන චිත්‍රපට වලිනුත් දම්මි අප හමුවට එනවා.
අවිවාහකව ජීවත් වූ දම්මි හුදෙකලා ජීවිතයට ප්‍රිය කල තැනැත්තියක් බවයි අසන්නට ලැබෙන්නේ. ඇගේ නොසිතූ මරණයට එක් හේතුවක් වන්නේත් දම්මිගේ මේ හුදෙකලා ජීවිතයයි. කුඹුක නම් ග්‍රාමයේ “කුසුම් සෙවන” නම් තම නිවසේ ඇය තනිවමයි වාසය කරන්නේ. හුදෙකලාව වාසය කරන නිසාවෙන් දම්මි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් මුර සංචාර සටහන් පොතක්ද ඇගේ නිවසට ලබාගෙන තිබෙනවා.
1996 අගෝස්තුවේ එක් දිනක දම්මිගේ නිවසට පැමිණෙන පොලිස් නිලධාරීන්ට අධික දුර්ගන්ධයක් දැනෙන්නට පටන් ගන්නවා. මෙයට හේතුව සොයන පොලිස් නිලධාරීන්ට හමුවන්නේ දින ගණනාවකට පෙර මරා දමා ඇති දම්මිගේ මළ සිරුරයි. මේ සම්බන්ධව කරන ලද පොලිස් පර්යේෂණ අවසානයේදී දම්මි විසූ ගම් පියසෝම පුද්ගලයෙකුව කොටු කර ගැනීමට පොලිසියට හැකියාව ලැබෙනවා. යම්කිසි මානසික විකෘතිතාවයකින්ද පෙළෙන්නෙක් වුණු මේ පුද්ගලයා දම්මිගේ නිවසට රහසින් රිංගා ගෙල සිරකිරීමෙන් තමයි ඈව මරණයට පත්කර තිබෙන්නේ. දම්මි රඟපෑ පළමු චිත්‍රපටයේ ඇගේ මරණය සිදු වන්නේද ගෙල සිරකිරීමකින් වීම දෛවෝපගත සිද්ධියක්.
4. නිහාල් සිල්වා
“”දවාලෙ පායන චන්ද්‍රයා… මේ අව්වා…” කියමින් නර්තනයේ යෙදෙන සාජන්ට් නල්ලතම්බි අපි කුඩා කාලෙ නිතරම අපේ මුවඟට හිනහවක් ගෙන ආපු ශිල්පියෙක්. 1954 ජනවාරි 10 වැනිදා උපත ලබන නිහාල් සිල්වා අමල් බිසෝ, ලේ කඳුළු වැනි නාට්‍ය හරහා වේදිකාවටත්, ඉන්පසු සිනමාවටත් ගොඩ වදිනව. විකට නළුවෙක් හැටියට නිහාල් ලබන්නේ අතිශය ජනප්‍රියත්වයක්.
තම හාස්‍යජනක රංගන ප්‍රතිභාවෙන රටක් හිනැස්සවූ නිහාල් සිල්වාගේ ජීවිතය උදුරාගනු ලබන්නේත් මෙරට අන්ධකාරම වකවානුවක් වුණු 88/89 කාල සීමාවේදීයි. නිහාල් මියයන්නේ හමුදා වෙඩි පහරවලට ලක්වීමෙන් වීමත් අතිශය කණගාටුදායක කාරණයක්. 1989 දෙසැම්බර් 3 වැනිදා තමන්ගේ වේදිකා රංගනයක් නිමවී නැවත පැමිණෙන නිහාල් සිල්වා දෙහිවල හමුදා මුරපොළක් අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා. ඒ හමුදා අණ නොතකා සිය රථය ධාවනය කිරීම හේතුවෙන් කියලයි කියන්නෙ.
5. සාගරිකා ගෝමස්
1989 ජුලි මාසයේදී ප්‍රේමකීර්තිව ඝාතනය කල පුවත ගුවන් විදුලියෙන් නිවේදනය කරන්නට පැවරෙන්නේ සාගරිකා ගෝමස්ටයි. ඇය ඒ වනවිට ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක්. ගුවන් විදුලි නාට්‍ය කිහිපයකටම ඇය හඬ කැවීමෙන් දායක වී තිබුණා. ඇය ගායනා කරපු ලෝනා මුනි රාජගේ ගීතයත් ඒ කාලෙ ඉතාම ජනප්‍රිය ගීතයක්. ඒ විතරක් නොවෙයි සාගරිකා ගම් උදාව වේදිකාවේද ගීත ගායනයෙන් නිතර පෙනී සිටි තැනැත්තියක්.
විසි හත් වියේ පසුවූ සාගරිකා නොබෝ දිනකින් තම හමුදා පෙම්වතා සමග විවාහ ජීවිතයට ඇතුළත් වීමටත් සූදානමින් තමයි පසුවුණේ. ඒත් කුරිරු දෛවය ඒ සියල්ලටම හරහට හිටිනවා. 1989 සැප්තැම්බර් 13 වැනිදා රාත්‍රියේදී අවිගත් සාහසිකයින් පිරිසක් සාගරිකාගේ නිවසට කඩාගෙන වදිනවා. අවි අමෝරා නිවැසියන්ව බියට පත් කරමින් ඔවුන් සාගරිකාව ප්‍රශ්න කිරීමකටද ලක් කරනවා.
එයිනුත් නොනැවතී ඔවුන් ඇයව බලහත්කාරයෙන් නිවසෙන් බැහැරට කැටුව යනවා. සාගරිකා තම නිවැසින් පිටත් වෙන අවසන් ගමන ඔවුන් හා යන්නේ තමන් පැළඳගෙන සිටින ආභරණ පියාගේ අත තබමින්. හිසට වෙඩි තබා ගෙළට පිහි පහර එල්ලකොට ඝාතනය කරන ලද ඇගේ සිරුර පසුදා දෙහිවල මුහුදු වෙරළින් හමුවනවා.
No comments:
Post a Comment