ඕවරයකදී ලකුණු 37 ක් රැස් කරමින් ඉතිහාසගත වූ ඩුමිනිගේ සුපිරි ඉනිම මෙන්න – (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 23, 2018

ඕවරයකදී ලකුණු 37 ක් රැස් කරමින් ඉතිහාසගත වූ ඩුමිනිගේ සුපිරි ඉනිම මෙන්න – (Video)

දකුණු අප්‍රිකානු පළමු පෙළ සීමිත ඕවර ක්‍රිකට් තරගයකදී එඩී ලී යැවූ ඕවරයකට ලකුණු 37 ක් රැස්කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ජේ.පී. ඩුමිනි සමත් විය.

එරට පළමු පෙළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කේප් කෝබ්රාස් කණ්ඩායම සහ නයිට්ස් කණ්ඩායම අතර පැවැති තරගයකදී මෙම සිදුවීම වාර්තා විය. ලකුණු 240 ඉලක්කයක් හඹායමින් සිටි කේප් කෝබ්රාස් කණ්ඩායමට 36 වැනි ඕවර අවසන් වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 32 ක් පමණක් වුවත්, බෝනස් ලකුණ ලබාගැනීමට නම් ඔවුන්ට එහිදී වැඩි යමක් කිරීමට සිදුව තිබිණ.

ඉනිමේ 37 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක එඩී ලී පැමිණීමත් සමග ජේ.පී. ඩුමිනි, සිය ප්‍රහාරය ආරම්භ කළ අතර ඒ වන විට ඔහු පන්දු 30 කදී ලකුණු 34 ක් ලබා සිටියේය. එම ඕවරයේ පළමු පන්දු 4 ටම හයේ පහරවලින් සංග්‍රහ කළ ඩුමිනිට පස්වැනි පන්දුවේදී ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි.

ඒ අනුව ඔහුට 2007 වසරේදී ඕවරයකට හයේ පහර 6 ක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලිය නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළහ. එහෙත් ඕවරයේ අවසන් පන්දුව නිපන්දුවක් වීමත්, ඊට හතරේ පහරක් ගැසීමට ඩුමින් සමත් වීමත් සමග ඔහුට වාර්තාව කරා යෑමට අතිරේක පන්දුවක් හිමි විය.

නිපන්දුවේදී ලබාගත් ලකුණු 5 ත් සමගින් ඕවරයේ පළමු පන්දු 6 අවසන් වන විට ලකුණු 31 ක් රැස්කරගෙන සිටි ඩුමිනි අතිරේක පන්දුවටද හයේ පහරක් එල්ල කරමින් නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද ගිබ්ස්ගේ වාර්තාව බිඳ දැමීමට සමත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad