බන්දුලගේ දෙපා වැද සමාව ගත්ත බව ගම්මන්පිළ පිළිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

බන්දුලගේ දෙපා වැද සමාව ගත්ත බව ගම්මන්පිළ පිළිගනී

බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා සමඟ ගැටී පසුව තමන් දෙපා වැඳ එතුමාගෙන් සමාව ගත් බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත් උණුසුම් සංවාදයක් අවසානයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා වූ තමන්ගේ ගුරුතුමාගේ දෙපා වැඳ සිත් රිදුණා නම් සමා වෙන්න යැයි කී බව ඇත්ත. 

නමුත් ඒ තමන්ගේ ප්‍රශ්නයකට කතා කර නොව වෙනත් පක්ෂයක් වෙනුවෙන් කතා කර බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය. මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (11දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත සවිය වූ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රිතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කර තිබෙනවා. ඇත්තෙන්ම එතුමිය ගියා නෙවෙයි යැව්වා. එතුමියට කිසිම ප්‍රතිපත්තිමය ගැටලුවක් හෝ කලකිරීමක් තිබුණේ නෑ. නාම යෝජනා කමිටු රැස්වනතුරු අම්පාර දිස්ත්‍රික්කයේ නායකයන් හය වතාවක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජාතික නාම යෝජනා කමිටුවට කැඳෙව්වා. නමුත් සමහර නායකයන් ආවේ නෑ. ඒ නිසා දවස් හයකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රියාණි මන්ත්‍රිතුමිය රස්තියාදු වුණා.

අවසාන සාකච්ඡා තිබුණේ පසුගිය සෙනසුරාදා. එතැනදී ශ්‍රියානි මන්ත්‍රිතුමිය පක්ෂ නායකයන් අමතලා කිව්වා. සර්ලා මාත් එක්ක තරහා වෙන්න එපා. මේ ප්‍රශ්නය විසඳන්නේ නැතිව ගමට යන්න බෑ. මිනී මැරුමක් වුණත් වෙන්න පුළුවන් කියලා. අවසාන වශයෙන් සිදු වුණේ දේශපාලන මිනීමැරුමක්. 'පිවිතුරු හෙළ උරුමය අපේක්‍ෂකයන් ඉදිරිපත් කර තිබෙන්නේ දිස්ත්‍රික්ක 13කට පමණයි. කලකිරුණු සියලුම දෙනාට මගෙන් පණිවුඩයක් තිබෙනවා. 

අපි පසුගිය වසර තුන පුරා සටන් කළේ රටකන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවන්න මිස අපේ ආධාරකරුවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රි ධුර ලබා දෙන්න නෙවෙයි. අපේ ප්‍රමුඛතාවන් අමතක කළොත් අපට ජනතා විශ්වාසය අහිමි වෙනවා. අපේක්ෂකත්වය වෙනුවෙන් අපට ආණ්ඩුවට සහාය දෙන්න පුළුවන් නම් ජනතාව අපිව විශ්වාස කරන්නේ කොහොමද?

අපේ මේ සටන පළාත් පාලන මැතිවරණයක අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා නොව ඉන් එහාට ගිහින් රට රැක ගන්නයි. ඒ නිසා තමන්ට අපේක්ෂකත්වය නොලැබුණා කියලා නැති නම් තමන්ගේ කෙනකුට අපේක්ෂකත්වය නොලැබුණා කියලා එන කේන්තිය, වේදනාව මත ක්‍ෂණික තීන්දු ගන්න එපා. එහි අවසාන ගොදුර බවට පත්වෙන්නේ අපේ මවුබිම සහ එහි ජනතාව. ඒ නිසා දුක, කේන්තිය නිවී ගියාම ශ්‍රියානි මන්ත්‍රිතුමිය හිත වෙනස් කර ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු වන එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයා පසුගිය ඔක්තෝබර් 11 වැනි දින ලංකාවේ යුද අපරාධ සිදු නොවුණු බවට කරුණු දක්වමින් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයේදී කතාවක් කළා. ලංකාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ ස්තුති කරලා ජනාධිපතිතුමා නේස්බි සාමිවරයාට ලිපියක් යවනවා. ඒක අපි අගය කළ යුතු දෙයක්. නමුත් නේස්බි සාමිවරයාට සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති ස්තුති කළ බව එංගලන්තයවත් ලංකාවත් දන්නේ නෑ.

ස්තුතිය රහසිගත සිදුවීමක් බවට පත් කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනපතිගේ ලිපිය සමඟ විදේශ අමාත්‍යාංශ ලේකම්ගේ ලිපියක්ද එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරියට යවනවා. ඒ ලිපියේ කියනවා ඔබතුමියට මේ ලිපිය පෞද්ගලිකව ගිහින් භාර දෙන්න සහ මේ ලිපිය ලංකාවේවත්, එක්සත් රාජධානියේවත් මාධ්‍යවලට දෙන්න එපා කියලා.

නේස්බි සාමිවරයාට ලංකාව ස්තුති කළ බව ලෝකයෙන් වසන් කරන්නේ කාට බයෙන්ද? ජනපතිගේ මතය, රටේ මතය ප්‍රකාශ කරන්න බය වෙන්න ඕනේ කාටද?

තිළිණි කෞශල්‍යා විජේසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad