ශ‍්‍රීයාණි විජේවික‍්‍රම ඒකාබද්දයෙන් ගියා නොවෙයි යැවුවා.. තව පොඩ්ඩෙන් මිනී මැරුමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

ශ‍්‍රීයාණි විජේවික‍්‍රම ඒකාබද්දයෙන් ගියා නොවෙයි යැවුවා.. තව පොඩ්ඩෙන් මිනී මැරුමක්..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත සවියක් වුණු ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රිතුමිය ශ්‍රිලනිපයට සහය පළ කර තිබෙනවා. එතුමිය ඒකාබද්ධ විපක්ෂය තුළ සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරපු කෙනෙක්. 2015 පෙබරවාරි 18 වෙනිදා නැවුම් ආණ්ඩුවට එරෙහිව එල්ල කරපු පළමුවැනි ප්‍රහාරය වු නුගේගොඩ රැළිය ඇමතූ එකම කාන්තාව ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රිතුමියයි.

අපෙන් මාධ්‍ය අහනවා ඇයි ගියේ කියලා. ඇත්තෙන්ම එතුමිය ගියා නොවේ යැව්වා. එතුමියට කිසිම ප්‍රතිපත්තිමය ගැටළුවක් හෝ කලකිරීමක් තිබුණේ නෑ නාමයෝජනා කමිටු රැස් වන තුරු. අම්පාර දිස්ත්‍රික්කයේ නායකයින් හය වතාවක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජාතික නාමයෝජනා කමිටුවට කැඳෙව්වා. නමුත් සමහර නායකයින් ආවේ නෑ. ඒ නිසා දවස් හයකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රියාණි මන්ත්‍රිතුමිය රස්තියාදු වුණා. අවසාන සාකච්ඡාව තිබුණේ පසුගිය සෙනසුරාදා. එතැන දී ශ්‍රියාණි මන්ත්‍රිතුමිය පක්ෂ නායකයින් අමතලා කිව්වා. “සර්ලා මාත් එක්ක තරහා වෙන්න එපා. මේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව මට ගමට යන්න බෑ. මිනීමැරුමක් වුණත් වෙන්න පුළුවන්“. අවසාන වශයෙන් සිදු වුණේ දේශපාලන මිනීමැරුමක්.

ශ්‍රියාණි මන්ත්‍රිවරියගේ ඉල්ලීම් සාධාරණයි එය දිය යුතුයි කියලා මම කියන්නේ නෑ. නමුත් ඇයට තමන්ගේ ඉල්ලීම් සාධාරණීකරණයට අවස්ථාවක් ලැබිය යුතුයි. ඒ අවස්ථාව ලැබුණේ නෑ. ඔය වගේම ජයන්ත විජේසේකර මන්ත්‍රිතුමා ත්‍රිකුණාමලයේ නාමයෝජනා ගැටළු විසඳා ගන්න දවස් තුනක් රස්තියාදු වුණා. කිසිම සාකච්ඡාවක් කලේ නෑ. අන්තිම දවසේ රෑ 11ට විතර අපෙන් සමු ගත්තා. පසුව දා ආණ්ඩුවට එකතු වුණා.

පිවිතුරු හෙළ උරුමය අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබෙන්නේ දිස්ත්‍රික්ක 13කට පමණයි. නමුත් අනිත් දිස්ත්‍රික් රැස්වීම් වලටත් අපි වාඩි වෙන්නේ කාටත් සාධාරණව සුමටව මේ කටයුතු ඉටුකිරීමට අපට දක්වන්න පුළුවන් දායකත්වය ලබාදීම සදහායි. හෝමාගම මට ලැබුණු අවස්ථාවන් ප්‍රමාණවත් නොවන බැවින් ඒ පිළිබඳ මගේ ආදරණීය ගුරුතුමා බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමා සමග මම ගැටිලා පසුව දෙපා වැඳ සමාව ගත් බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. උණුසුම් සංවාදයක් අවසානයේ මම ගුරුතුමාගේ දෙපා වැඳ සිත් රිදුනා නම් සමා වෙන්න කියූ බව නම් ඇත්තයි. නමුත් ඒ මගේ පක්ෂයේ අපේක්ෂකයෙකුට වූ අසාධාරණයක් කතා කරලා නොවේ. වෙනත් පක්ෂයක් වෙනුවෙන් කතා කරලයි.

මේවාට වගඋත්තරකරුවන් පිළිබඳ කතා කලොත් යන පිරිස වැඩි වන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඒවා ගැන ඡන්දයෙන් පසු කතා කරමු. ආණ්ඩුවේ ගත වුණු තෙවසර පිළිබඳ ජනමත විමසුමක් බවට පුංචි ඡන්දය පත් කර ඇති මොහොතක අපට මීට වඩා දූරදර්ශිව කටයුතු කරන්න වෙනවා. මොකද කිසිම දේශපාලන පක්ෂයකට තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයන් සියළු දෙනාම ලැබෙන්නේ නෑ. කළකිරුණු සියළුම දෙනාට මගෙන් පණිවිඩයක් තිබෙනවා.

අපි පසුගිය වසර තුන පුරා සටන් කලේ රට කන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවන්න මිස අපේ ආධාරකරුවන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රි ධූර ලබා දෙන්න නොවේ. අපේ ප්‍රමුඛතාවයන් අපි අමතක කළොත් අපට ජනතා විශ්වාසය අහිමි වෙනවා. අපේක්ෂකත්වය වෙනුවෙන් අපට ආණ්ඩුවට සහය දෙන්න පුළුවන් නම් ජනතාව අපිව විශ්වාස කරන්නේ කොහොමද?

අපේ මේ සටන පලාත්පාලන මැතිවරණයක අපේක්ෂකත්වය දිනා ගැණීම සදහා නොව ඉන් එහාට ගිහින් රට රැක ගන්නයි. ඒ නිසා ඔබට අපේක්ෂකත්වය නොලැබුණා කියලා නැතිනම් ඔබේ කෙනෙකුට අපේක්ෂකත්වය නොලැබුණා කියලා එන කේන්තිය වේදනාව මත ක්ෂණිකව තීන්දු ගන්න එපා. එහි අවසාන ගොදුර බවට පත්වෙන්නේ අපේ මව්බිම සහ එහි ජනතාවයි. ඒ නිසා දුක කේන්තිය නිමී ගියාම ශ්‍රියාණි මන්ත්‍රිතුමිය හිත වෙනස් කර ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad