2018 වර්ෂය ඔබට කොහොමද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

2018 වර්ෂය ඔබට කොහොමද ?



මේෂ 

 ලග්නාධිපති කුජ ගුරු සමග 7 වැන්න වන තුලා රාශි යේ, මුවසිරස නැකතේ ද සදු 3 වැන්නේ ද , රවි , ශනි හා සිකුරු සමග යෝගව 9 වැන්නේ ද, බුධ 8 වැන්නේ ද , රාහු 4 වැන්නේ සහ කේතු 10 වැන්නේ ද ගමන් කරමින් වර්ෂය ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – මෙම වසර මේෂ ලග්න හිමියනට රැකීරක්ෂා සඳහා සුබම වසරක් නොවේ. ඇගයීම් බොහෝමයක් අඩු වන, උදාසීන ස්වභාවයක් ඇතිකරන, ඊර්ෂ්‍යාකාරයන්ගේ කේලාම්, කුමන්ත්‍රණකාරයන්ගේ තාඩන පීඩනවලට නිතර ලක්වන වසරකි. රැකියා ස්ථාන ආදියේ දී සතුරුකම් ඉවසා සිටින තරමට පසුව ජයග්‍රහණ හිමිවන බව මතකතබා ගත යුතුය. මැයි සහ ජුනි මාස විශේෂයෙන් ඉවසිලිවන්ත විය යුතුය.
ධනය ලැබීම් තරමක් මන්දගාමි වේ. හවුල් ව්‍යාපාර ආදියට මුදල් ආයෝජනය කරන කාලයකි. අධි තාක්ෂණික කටයුතු, නිර්මාණ, සියුම් ව සූක්ෂමව සිදුකරන සේවාවන්ට අදාළ ව්‍යාපාර 2018 වර්ෂයේ දී මේෂ ලග්න හිමියන්ට හොදින් ගැළපෙනවා ඇත. ව්‍යාපාර ස්ථානවලදී ද සේවක ගැටුම්, කලහ නිතර ඇතිවන අතර ව්‍යාපාර දියුණුවට එය බාධාවකි. පොදුවේ ගත්කල මෙම වසර තුළ ලබන අත්දැකීම් මේෂ ලග්න හිමියන් සඳහා හොඳ අත්දැකීම් සම්භාරයක් වනවා පමණක් නොව එය මතු දියුණුව උදාකර ගැනීමට රුකුලක් ද වනවා ඇත.
ගමන් බිමන් – කොහොමත් ඉදිරි වසර මේෂ ලග්න හිමියන් වැඩිපුර නිවස තුළම රැඳෙන වසරක් නම් නොවේ. විදෙස් ගමන් සඳහා අසුබ නැත. බොහෝ දුරින් හවුල් වන අයගේ හෝ විවාහකයාගේ දායකත්වයෙන් විදසේගත වීම් සඳහා ඉඩ ප්‍රස්ථාව ලබනවා ඇත.
විවාහය හා ගෘහ දිවිය – ඉතා සුබව ගත වන වසරකි. එහෙත් කාලත්‍රයා කාර්‍ය බහුල වන වසරකි. බොහෝ දුරට යැපීම් ද කාලත්‍රයා ගේ ප්‍රධාන දායකත්වයෙන් සිදුවන යැපීම් වේ. මුල් මාසය සහ අවසන් මාස දෙක විවාහ දිවියේ යම් ආරවුල් ඇති වීමට ඉඩක් ඇත. එහෙත් සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදාගත හැකි තත්වයක් ඇත. අනියම් සබඳතා කෙරේ සිත ඇදෙන ගති ද ඇත.
නව වත්කම් – ඥාතීන්ට අයත් සහ කාලත්‍රයා ට අයත් වත්කම් බුක්තිවිඳීමට ලැබෙන වසරකි. තමන්ගේම අලුත් වත්කමක් ගොඩනගාගැන්මේ බාධා ඇත.
අධ්‍යාපනය – විදෙස් අධ්‍යාපන, දුර බැහැරව යෙදෙන අධ්‍යාපන කටයුතු ආදියට ඉතා සුබ නමුත් නිතර වෙනස් වන ගතිය නිසා ප්‍රාථමික අධ්‍යාපනයට බාධා ඇතිකරයි.
සෞඛ්‍යය – ඇස්, කන් ආශ්‍රිත අබාධවලට ඉඩ ඇති අතර බොහෝ දුරට තාක්ෂණික මෙවලම් නිසා ඇතිවන බලපෑම් විය හැක. පොදුවේ වසර මැද දක්වා සෑම ලග්නයකටම සෞඛ්‍ය පීඩා ඇති වන අතර මේෂ ලග්නයට අදාලව පපුව ආශ්‍රිත ආබාධ , හෘදය ආශ්‍රිත ආබාධ ගැන සැලකිලිමත් විය යුතුයි. දුම්පානය කරන්නන් ඒ සඳහා තදින් ඇබ්බැහි වන අතර ඒ අයට පෙනහලු ආශ්‍රිත ආබාධ ඇතිවීම ඒකාන්තය. විෂ දුමාර ශරීර ගතවිය හැකි වසරකි. මත්පැන් , මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වාහන පැදවීම අති භයානක බව මතකතබා ගත යුතුයි.
ආධ්‍යාත්මික නැඹුරුව – අධ්‍යාත්මික නැඹුරුව ඉතා ඉහළ යන නමුත් සිත එක්තැන් කරගැනීමට තරමක් අපහසුවන වසරකි. වසරේ මුල් මාස කිහිපය අසාමාන්‍ය ලෙස අධ්‍යාත්මික නැඹුරුවක් පෙන්වයි. බොහෝ දුරට සමාජයෙන් තමාට අහිමි වූ ගෞරවය, කීර්තිය නැවත ලබාගැනීම හෝ කලබලකාරීත්වයෙන් මිදීම එහි මූලික අරමුණ වනවා ඇත.
සුබ අංක 1, 2, 4, 7, 9
සතියේ සුබ දවස් – ඉරිදා, සඳුදා, අඟහරුවාදා
මාසයේ සුබ දවස් – 1, 2, 4, 7, 9, 10, 11, 13, 16, 18, 19, 20, 22, 25, 27, 31
සුබ වර්ණ – කහ, තැඹිලි, අලු, රතු


වෘෂභ  සිකුරු ලග්නාධිපති ලෙස සෙනසුරු සහ රවි සමග ධනු රාශි ගතව, පුවසල නැකතේ 01 පාදයේ වෙමින් 8 වැන භාවයේ තැනපත්ව ද සඳු ලග්නගතව ද රාහු 3 වැන්නේ හා කුජ, ගුරු 6 වැන්නෙ ද බුද 7 වැන්නේ ද කේතු 9 වැන්නේ ද ගමන් කරමින් 2018 වසර ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – පොදුවේ සුබ අසුබ මිශ්‍ර වසරකි. රැකීරක්ෂා ආදියේ දී අපේක්ෂාවෙන් සිටි කාරණා බොහෝමයක් සඵල වීමට ඇත. ජනවාරි සහ නොවැම්බර්, දෙසැම්බර් මාස තරමක් හදිසි බාධා වීම් රැකියා වෙනස්වීම් ආදියට කාරණා ඇතත් ඒවා රැකියාවේද දියුණුව උදෙසාම වේ. බොහෝ දුරට වසරෙහි අග රැකියා ස්ථාන මාරුවීමකට ඉඩ ඇත. ව්‍යාපාර ආදියේ දී ද යම් ස්ථාවර වීමක් පෙනේ. ඇඟලුම්, රූපලාවන්‍ය, හෝටල් හෝ නව්‍යකරණයට අදාළ ව්‍යාපාර රැකියා, තාක්ෂණික විෂයන්ට අදාළ රැකියා ව්‍යාපාර සඳහා අප්‍රියල් මාසයෙන් පසු සුබ තත්වයක් ඇත.
ගමන් බිමන් – කෙටි ගමන් මිස දුර ගමන් නොපෙනේ. නිතර කෙටි ගමනේ ම යදෙන ස්වභාවයක් ඇත. දුරගමන්, විදෙස් ගමන් ආදියට යොදන උත්සාහයන් සඳහා තදබල බාධා පෙනේ. තම ඥාතී හිතවතුන්ට උදව් උපකාර පිණිස යෙදෙන ගමන් වැඩිය. මැයි, ජුනි මාසවලදී විදෙස්ගත වීමේ අපේක්ෂා තරමක ඉෂ්ඨ වීමක් ඇත.
විවාහය හා ගෘහ දිවිය – මුල් මාස තුන විවාහ දිවියට බාධා ඇති කරයි. කාලත්‍රයාගේ අසාමාන්‍ය නිහඬතාව ඊට හේතු වනවා ඇත. කාලාත්‍රයා මන්දෝත්සාහී වන වසරකි. පොත්පත්, ඉගෙනීම් කටයුතු ආදියට කාලත්‍රයා වැඩිපුර වියදම් කිරීම, මුදල් ඉපයීමට උනන්දු නොවීම නිතර පෙනෙන්නට ඇත. එ හේතුවෙන් ද සුළු වචන හුවමාරු සිදුවිය හැකිය. කාලත්‍රයා විදෙස්ගතවීමට කරන උත්සාහයන් සාර්ථක වනවා ඇත. දූ දරුවන්ට බරපතල අපල නොපෙනේ. දරුවන්ගේ ඉගෙනීම් ආදියට තදබල බාධා නොපෙනේ.
නව වත්කම් – ඉඩකඩම් දේපළ විකිණීමට කාරණා යෙදන වසරකි. නව වත්කම් රැස්කිරීම්වලට වඩා තිබෙන දේ රැක ගැනීමට උත්සාහ කළ යුතුයි. වසරේ අග මාස තුන තුළ නඩුහබ නීති ප්‍රශ්න ආදියට පැටලීමට ඉඩ ඇත.
අධ්‍යාපනය – නව අධ්‍යාපන ප්‍රවේශ සඳහා අසුබම නැත. පර්යේෂණ අංශ, මූල්‍ය ක්ෂේත්‍රවලට අදාළ අධ්‍යාපන කටයුතු සඳහා වඩා සුබයි. උසස් අධ්‍යාපන අරමුණු , උපාධි පශ්චාත් පාඨමාලා ආදි කටයුතු සඳහා ද ඉතා සුබ වර්ෂයකි.
සෞඛ්‍යය – අක්මාව අශ්‍රිත පීඩාවන්ගෙන් නිතර පීඩාවීම් ඇත. ගැස්ට්‍රයිටිස් , මුත්‍රා අමරු, මුත්‍රා ගල් හර්නියා වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුයි. යටි බඩටනම් හොඳම නැත.
ආධ්‍යාත්මික නැඹුරුව – ගුප්ත ඇදහීම් සඳහා නඹුරුව වැඩිවන වසරකි. දෙවියන් කෙරේ අධික භක්තියෙන් පුද පූජා තබනවා ඇත. කේතු මහදශාව හෝ සෙනසුරු දශාව ගතකරන අය මේ සඳහා වැඩි අවධානයෙක් දක්වනවා ඇත.
සුබ අංක – 7, 5, 8
සතියේ සුබ දින – සඳුදා, බදාදා, සෙනසුරාදා
මාසයේ සුබ දින – 5, 7, 8, 14, 16, 17, 23, 25, 26
සුබ වර්ණ- අළු, තද නිල්


මිථුන  බුධ ලග්නාධිපති ලෙස වෘශ්චික රාශි ගතව දෙට නැකතේ තුන්වන පාදයේ වෙමින් 6 වැන්නේ තැන්පත්ව සඳු ලග්නයේ වෙමින් ද රාහු 2 වැන්නේ වෙමින් ද ගුරු හා කුජ 5 වැන්නේ වෙමින් ද සිකුරු , රවි, ශනි 7 වැන්නේ වෙමින් ද කේතු 8 වැන්නේ වෙමින් ද වසර ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – හදිසි ධනලාභ ද අලාභද සමව විඳීමට ඇති වසරකි. වසරේ මැයි දක්වා කාලය බරපතළ උච්චාවචනය වීම් ඇති අතර කිසිවක් ස්ථීරව සැලසුම් කළ නොහැකි කාලයකි. රැකී රක්ෂා සම්බන්ධ වෙනස්වීමක් වසර මැද කාලයේ යෙදීමට ඇත. එය සුබ තත්වයකි. ව්‍යාපාර ආදියේ දී පරිණත, වැඩිමහල් පුද්ගලයන් සමග යෙදෙන හවුල් සාර්ථක වන නමුත් ඒවාද සාර්ථක වීමට මැයි දක්වාම බාධා ඇත. සැලසුම් අංශ, උපදේශන, ගුප්තමය ක්‍රියාකාරකම්වලට අදාළ රැකියා, ව්‍යාපාර සඳහා වැඩි සාර්ථකත්වයක් ඇත.
ගමන් බිමන් – වෘත්තිය කටයුතු සඳහා වැඩිපුර ගමන් යෙදෙන වසරකි. පෙබරවාරි, අප්‍රියල් ,මැයි,ජූලි මාස විදෙස්ගත වීමේ අපේක්ෂා සාර්ථක වන කාල වකවානු වේ. ඒ කාලවලදී දුර ගමන් , චාරිකා ආදිය බහුලව යෙදේ. විදෙස්වල සිටින්නන් මෙරටට පැමිණීම ද ඒ කාල තුළ යෙදීමට ඉඩ ඇත. කෙසේ නමුත් 2018 වසර විදෙස්වල සිටින අය නම් එරට තුළ නිතර ඇවිද්ද වන වසරකි.
විවාහය හා ගෘහ දිවිය – විවාහ දිවිය අර්බුදය ට ලක්වන වසරකි. ඉදිරි වසර තදබලම විවාහ බාධා ඇතිකරන ලග්නය මිථුන ලග්නයයි. සෑම අතකින්ම බාධා ම පෙන්නුම් කරයි. වචනය අසංවර වීම, කාලත්‍රයාගේ අභ්‍යන්තර හැඟීම් තේරුම් නොගැනීම එයට මූලික හේතුව වනවා ඇත. වැඩිමහලු අයගෙන් වැඩිපුර විවාහ යෝජනා එන කාලයකි. ශනි හෝ රාහු මහ දශා ගත කරන අයට තදබල විවාහ බාධා පෙන්නුම් කරයි.. දරුවන්ට බාධා නොපෙනේ.
නව වත්කම් – ඉඩකඩම් දේපළ මිලදීගැනීම් අදී අපේක්ෂා මැයි, ජුනි මාසවලදී සාර්ථක වීමට ඇත. පදිංචි ස්ථාන සම්බන්ධ ගුප්ත දෝස හටගන්නා ඒ හේතුවෙන් චකිතයෙන් සිටිනා වසරකි. අගෝස්තු දක්වා කාලය එම බාධා උපරිම වනවා ඇත. දේපළ අත්පත්කරගැනීම් ආදියට ද ගුප්තබිය බාධාවක් වනවා ඇත. ජනවාරි සහ නොවැම්බර්, දෙසැම්බර් හිමිකම් ලැබීමට ඇත.
අධ්‍යාපනය – ප්‍රාතමික සහ උසස් අධ්‍යාපන දෙඅංශයේම දියුණුව ඇත. කාලසටහකට වැඩකරන වසරක් බැවින් විභාග ආදියේ අපේක්ෂිත ජයග්‍රහණ ලබනවා ඇත. උසස් අධ්‍යාපන අංශයේ දී අධිතාක්ෂණික අංශ, පර්යේෂණ අංශ, විශේෂඥ අධ්‍යාපන අංශ ආදියෙන් විශේෂ ජයග්‍රහණ ලබනවා ඇත.
සෞඛ්‍යය – හර්නියා , බඩ වේලන ගති, ගැස්ට්‍රයිටිස් , මුත්‍රා අමාරු ආදී තත්වයන් නිතර ඇතිවිය හැක. මාර්තු, අප්‍රියල් මාස හදිසි අනතුරු සැත්කම් ආදිය යෙදීමට ඉඩ ඇත. ගුප්ත රෝග අමනුෂ්‍ය බිය හේතුවෙන් හටගන්නා රෝග බහුලවන බැවින් ලෙඩ රෝගවලදී වෛද්‍යවරුන් පවා මවිතයට පත්වනවා ඇත.
ආධ්‍යා‍ත්මික නැඹුරුව – ගැඹුරු චෛතසිකයන් අවදිවන, ගුප්ත සබඳතා වර්ධනය වන වසරක් බැවින් වීරිය වඩන අයට විමුක්තිය උදාකරගත හැකි වසරකි. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් තම බලය, ආධ්‍යාත්මික හැකියාවන් සම්බන්ධ ප්‍රසිද්ධියක් ද ලබන නමුත් ප්‍රඥ්ඥාවන්ත නොවුණොත් ඔක්තොම්බර් මාසයෙන් පසු තමා විසින්ම තම ගෙල සිරකර ගැනීමට සිදුවනවා ඇත.
සුබ අංක – 4, 6, 7,
සතියේ සුබ දින- බදාදා, සිකුරාදා,
මාසයේ සුබ දින – 4, 6, 7, 13, 15, 16, 22, 24, 25, 31
සුබ වර්ණ – අලු , කොළ , ලා නිල්


කටක  ලග්නාධිපති සඳු 12 වැන්නේ මිථුන රාශි ගතව ආරම්භ වන ඉදිරි වසර තුළ රාහු ලග්නගත ද කුජ, ගුරු 4 වැන්නේ ද බුධ 5 වැන්නේ ද ශනි, රවි, සිකුරු 6 වැන්නේ ද කේතු 7 වැන්නේද ගමන් කරමින් ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – ඉදිරි වසර මානුෂවාදී ගුණාංග බොහෝමයක් ඉස්මතු වන වසරක් බැවින් බාධාවන්ට මුහුණ දීම අපහසු නොවනු ඇත. රැකීරක්ෂා සඳහා මාර්තු , අප්‍රියල් මාස තරමක් බාධා ඇතිකරන නමුදු ඉන්පසු බාධා නැත. ස්ථිර අදහස් නොමැතිවිම ගැටලුවකි. යාන වාහන සම්බන්ධ හෝ කාර්මික තාක්ෂණික විෂයන් සම්බන්ධ රැකියා ව්‍යාපාර ආදියේ යදෙන අයට විශේෂ වාසි ඇත. තම රැකියා ආයතන ප්‍රධානීන් මන්දෝත්සාහී වන බැවින් ආයතනයේ දියුණුව නැත. එ බැවින් තමන්ට ලැබීමට ඇති ප්‍රසාද දීමනා ආදිය ගැන බලාපොරොත්තු තැබීම සුබ ඇත. ඉදිරි වසරේ සැප්තැම්බර්වලින් පසු ලොකු ව්‍යාපර වැඩකට සැලසුම් කිරීමක් පෙනෙන්නට ඇත.
ගමන් බිමන් – චාරිකා හෝ දීර්ඝ ගමන් බිමන් ආදියට බොහෝ බලාපොරොත්තු අපේක්ෂා ඇතිවන නමුදු අවසාන මොහොතේ ඒවාට බාධා පැමිණේ. ඒ සඳහා උභතෝකෝටික ස්වභාවයක් ඇති කරයි. මාර්තු , අප්‍රියල් සහ ජුනි මාස විදෙස්ගත් වීම් සාර්තක වන දුර ගමන් බහුලව යෙදෙන මාස වේ. මව්රටින් ඈත්ව සිටින කටක ලග්න හිමියන් තම වචන ප්‍රවේශම් කරගත යුතුයි.
විවාහය හා ගෘහ දිවිය – විවාහ අපේක්ෂාවෙන් සිටින අයගේ අපේක්ෂා ඉටුවීමට තරමක් කල් ගතවන, බාධා වන වසරකි. විවාහක කාලත්‍රයා ට සුබයි. රැකීරක්ෂා වන්හි දියුණුව ඇත. කාලත්‍රයා විසින් දීර්ඝ කාලීනව ගෙවීමට ණය ආදිය ගැනීම් හා ස්ථාවර තැන්පතු සඳහා මුදල් යෙදවීම් පෙනේ. ඉදිරි වසර විවාහ දිවිය සම්බන්ධ සුටුදායක ම වසරක් නොවන බව නම් කිවයුතුමය.
නව වත්කම් – නව වත්කම ගොඩනගා ගන්නා, දේපළ ඉඩකඩම් හිමිකරගන්නා වසරකි. සමහර වත්කම් බලෙන් මෙන් අත්පත්කරගැනීම් පෙනේ. මාර්තු මාසයෙන් පසු වාහන මිලදී ගැනීම් ආදියට සිත යෙදුනත් අබලන් වාහනවලට ද හසුවීමක් පෙනෙන බැවින් ඒ ගැන දෙවරක් සිතාබැලිය යුතුයි.
අධ්‍යාපනය – ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල ⁣හොද වර්ධනයක් ඇතත් උසස් අධ්‍යාපනයට බාධා ඇත. විචක්ෂණශීලී, තර්කානුකූල ස්වභාවය ඉදිරිවසරේ දී අඩුවන බැවින් ගැඹුරු අධ්‍යයන තරමක් අපහසු වනවා ඇත.
සෞඛ්‍යය – උදර ආබාධ ආහාර අජීර්ණය වීම් වැඩිපුර පෙනෙන්නට ඇත. මානසික ආතතිය ද උපරිම වන බැවින් ක්ලාන්ත ගති, හිස කැක්කුම් නිතර ඇතිවීමට ඇත. මනෝවෛද්‍ය ප්‍රථිකාර සඳහා වැඩියෙන් පෙළඹෙන වසරකි. ජුනි, ජූලි මාස දෙක මානසික ආතතිය උපරිම වේ.
ආධ්‍යාත්මික නැඹුරුව – මානසිකව ආධ්‍යාත්මික නැඹුරුව ඇතිවූවත් ඒ කෙරේ යොමුවීමට, පන්සල් යාමට කාලයක් වෙලාවක් නැති වසරකි. එහෙත් අන්‍යයන්ට උපකාර කිරීමට, දන් දීමට සිත යෙදවෙනවා ඇත. අවිහිංසාවාදී අදහස් ඇතිවනවා ඇත. නොවැම්බර්, දෙසැම්බර් මාස ධාර්මික කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා ඇත.
සුබ අංක – 3, 4, 9
සතියේ සුබ දින- බ්‍රහස්පතින්දා , අඟහරුවාදා
මාසයේ සුබ දින – 3, 4, 9, 12, 13, 18, 21, 22, 27, 30, 31
සුබ වර්ණ – දම්, අලු, රතු
සිංහ ලග්නාධිපති රවි ධනු රාශියේ වෙමින් පුවසළ නැකතේ 2වෙනි පාදයේ තැන්පත් විට ආරම්භ වන ඉදිරි වසර ආරම්භයේ දී කුජ, ගුරු 3 වැන්නේ ද බුධ 4 වැන්නේ ද ශනි, රවි, සිකුරු 5 වැන්නේ ද කේතු 6 වැන්නේ ද සඳු 11 වැනනේ ද රාහු 12 වැන්නේ ද තැන්පත්ව සිටී.
ධනය හා රැකීරක්ෂා – නව ධනෝපායන මාර්ග, ව්‍යාපාර ආදියට තදින්ම සිත ඇදෙන වසරකි. ඒ සඳහා හවුල්කරුවන්ගේ ද උපකාර ලැබෙනවා ඇත. එහෙත් වැයකිරීම් , වියදම් වීම් උපරිම වන වසරක් බැවින් අනවශ්‍ය නාස්තිකාර ක්‍රියාද වැඩිවනවා ඇත. වියදම් අධික වනවා යනු ලැබීම් ද වැඩිවනවා යන්නයි. වසර මුලදීම සැලසුම් කරන එම කටයුතු මාර්තු මාසයේ සිට සාර්ථක වනවා ඇත. එහෙත් ලැබීම් ද මන්දගාමී බව මතකතබා ගත යුතුයි.
ව්‍යාපාරවලදී කොන්ත්‍රාත් වැඩ, උපදේශන අංශ ඉතා සුබයි. අලෙවිකරණ, රථවාහන සේවා, සංචාරක ආදී අංශවලට අදාළ රැකියා සඳහා ඉතා සුබයි.රැකියා කටයුතු සඳහා නිතර විදෙස්ගත වීම් ද පෙනෙන්නට ඇත. රැකීරක්ෂාවලදී සතුරු කුමන්ත්‍රණ බලවත්ව ක්‍රියාත්මක වනවා ඇත. ඒ හේතුවෙන් මැයි, ජුනි, ජූලි, අගෝස්තු රැකියා එපාවන කාල වකවානු වනවා ඇත.
ගමන් බිමන් – වැඩිපුර දුර ගමන් යෙදෙන වසරකි. නිවසේ රැදීමට පවා කාලයක් නැත. හදිසි ගමන්, දුර ගමන් නිතර යෙදේ. යානවාහන සම්බන්ධ , නාවික ,විදෙස්, ආරක්ෂක අංශ, වාහන රැකියා ආදියේ නිරත අයට එය වාසිදායක වේ. ගුරුවරයෙක් , තමන්ට උදව් උපකාර කළ අයෙක් වෙනුවෙන් ප්‍රති උපකාර කිරීමේ අවස්ථාව ලබන බැවින් ඒ සඳහා කෙටි ගමන් යෙදීමට ඇත.
විවාහය හා ගෘහ දිවිය – තරමක් කලබලකාර කාලයක් හා ගෙදර වැඩිපුර නොරැදෙන කාලයක් බැවින් විවාහ දිවියේ සුළු අර්බුද ඇතිවීමට ඉඩ ඇත. බිරිඳ බොහෝ ඉවසන, විවාහ දිවියේ අඛන්ඩ පැවැත්ම තදින් අපේක්ෂා කරන බැවින් විවාහය නොබිදී පවතිනවා ඇත. විවාහ දිවිය සම්බන්ධ තුන්වන පාර්ශ්වයේ මැදිහත්වීම් වැඩි වේ.
බොහෝ දුරට මහළු, වයසක අයගේ දායකත්වය, උපදේශන නිතර ලැ⁣බේ. ගතයුත්ත, නොගතයුත්ත තේරුම්ගත යුතුයි. ජනවාරි සහ නොවැම්බර්, දෙසැම්බර් බාධා උත්සන්න වන කාල වකවානු වේ. නව විවාහ අපේක්ෂා ඇති අයට ඔක්තොබර් මාසයට පෙර ඒවා ඉෂ්ඨ වීමක් පෙනේ. ප්‍රේම සබඳකාවලදී , රැවටිලිකාර ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශ්වයන්ම ආරක්ෂා විය යුතුයි.
නව වත්කම් – වියදම්, ලැබෙන දේ යෙදවීම් වැඩි බැවින් ඉදිරි වසර තුළ නව වත්කම් අත්පත්කරගැනීම් අඩු බව පෙනේ. ජුනි, ජූලි මාසවලදී නඩුහබ නීතිප්‍රශ්න පටලැවෙන සවභාවයක් ද ඇත. ජනවාරි,පෙබරවාරි මාර්තු, අප්‍රියල් මාස පදිංචි ස්ථානය සම්බන්ධ හදිසි වෙනස්වීම්අවලට ඉඩ ඇත. ඉඩකඩම් මිලදීගැනීම් සාර්ථක වීමට ඇත.
අධ්‍යාපනය – මධ්‍යම ප්‍රථිපල දායක වේ. ඉගෙනීම් වැඩ පස්ස කල්දමන කාලයකි. ඉතිහාසය , පරිසරය ආදී විෂයන්ට සුබයි. ගණිත, විද්‍යා ආදී විෂයන්ගේ ලකුණු අඩුවිය හැකිය. සුබ විෂයන් ආශ්‍රිත උසස් අධ්‍යාපනයටත් එසේමයි. කාර්මික, ලෝහ සහිත තාක්ෂණික, කෘෂිකාර්මික, පාරිසරික විෂයන් සඳහා ද සුබ බැවින් ඒ ආශ්‍රිත පාඨමාලා ආදියේ යෙදෙන්නන්ට ද සුබයි.
සෞඛ්‍යය – උදර ආබාධ , ගෑස්ට්‍රයිටීස්, අක්මාව සම්බන්ධ රෝග පීඩා බහුලව යෙදේ. ජුනි, ජූලි මාස හෘදය ආශ්‍රිත පීඩා ගැනද සැලකිලිමත් විය යුතුයි.
ආධ්‍යාත්මික නැඹුරුව – තරමක නැඹුරුවක් ඇත. තමාගේ නම නොකියවෙන බැවින් ආධ්‍යාත්මික කටයුතු කෙරේ නැඹුරුව ද අඩුවීමට ඉඩ ඇත. පොදුවේ 2018 වසර නින්දා විදීම්, ප්‍රසිද්ධියේ අපවාද විදීම්, කුමන්ත්‍රණවලට හසුවීම් වැඩි වර්ෂයකි. මාර්තු මාසයෙන් පසු අරමුණක් ඉලක්ක ආධ්‍යාත්මික කටයුතුවලට කැපවීමක් නෙපෙනේ.
සුබ අංක – 1, 2, 4,
සතියේ සුබ දින – ඉරිදා, සඳුදා,
මාසයේ සුබ දින – 1, 2, 4, 10, 11, 13, 19, 20, 22, 28, 29, 31
සුබ වර්ණ – තැඹිලි, සුදු, අලු
කන්‍යා ලග්නාධිපති බුධ වෘශ්චික රාශි ගතව දෙට නැකතේ 2 වෙනි පාදයේ වෙමින් 8 වැන්නේ ද ගුරු, කුජ දෙවැන්නේ ද, ශනි, සිකුරු, රවි 4 වැන්නේ ද කේතු 5 වැන්නේ ද, සදු 9 වැන්නේ ද රාහු 11 වැන්නේද වෙමින් වසර ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – ව්‍යාපාර ආදියේ දී හදිසි ධනලාභ සොයන ඉක්මන් ධන ඉපයීමේ මාර්ග සොයන වසරකි. මුදල් ලැබෙන ක්‍රමය වැදගත් නැත.කොටස් වෙළෙඳපොළ ආයෝජන, පොලියට මුදල් දීම් ආදී ක්‍රමයන් ද ඒ සඳහා භාවිත කිරීමට ඇත. ලැබීම් ද ඇත. රැකියා අංශවලදී උසස්වීමක් ලැබීමට හෝ ගෞරව ලැබීමකට හේතු ඇත. ජනවාරි, නොවැම්බර්, දෙසැම්බර් මාස රැකියා සඳහා බාධා ඇත. මාර්තු මාසයෙන් පසු රැකියා සථානවලින් යානවාහන ලැබීම් ඇත. වැවිලි ශේස්ත්‍ර , භූමියෙන් ලැබෙන ආදායම්, මල් වැවීම් ආදී අංශවලදී ද ලාබ ඇත.
ගමන් බිමන් – දුර ගමන්, ළඟ ගමන් සාමාන්‍ය වශයෙන් යෙදේ. බොහෝ දුරට රට අභ්‍යන්තරයේ යෙදෙන ගමන් වැඩිය. වැඩිපුර ගෙදරම වාසයට උත්සාහ ගනී.
විවාහය හා ගෘහ දිවිය – විවාහ දිවියට දැඩි බලපෑම් නොපෙනෙන නමුත් කාලත්‍රයා අනවශ්‍ය දේට කලබල වී සිසුකරන අනුවණ ක්‍රියාවන්වල ප්‍රථිවිපාක භුක්ති විඳීමට සිදුවනවා ඇත. අනවශ්‍ය ඇස් රතුවන විහිළු තහළු හේතුවෙන් වාද විවාද ඇතිවීමට ඇත. පදිංචිය ස්ථාවර වන අතර ඉවසීමෙන් බාධා වළකාගැන්මට හැකි තත්වයක් ඇත. ජුනි, ජූලි මාස පමණක් සැලකිල්ලෙන් ගතකළ යුතුයි.
නව වත්කම් – පැරණි නිවාස හිමිකම් ඇත. පාරම්පරිකව උරුමයෙන් ලැබෙන වත්කම් විය හැකිය. යහළු මිත්‍රාදීන්ගේ දායකත්වයෙන්, උදව්වෙන් ලබන ද දේපළ ආදිය ලැබීමට කාරණාඇත. පැරණි වාහන මිලදී ගැනීම් ආදියටද සිත යන කාලයකි. පෞරාණික දේ අගයන ඒවා පිළිබඳ ගවේෂණය කරණ, ඒ සම්බන්ධව පොත්පත් පවා ලිවීමට සිතන කාලයකි. උපන් භූමිය පිළිබඳව හැඟීම් ඉස්මතුවන නමුදු ඉහත ලාබ අපේක්ෂාවන් ද ඒ අතර ඉස්මතුවීමට ඉඩ ඇත.
අධ්‍යාපනය – ගුප්ත අධ්‍යයනයන් කෙරේ වැඩිපුර සිත යෙදවෙනවා ඇත. හොද මතක ශක්තියක් ඇති වන ඉගෙනීම් කටයුතු ආදිය කලබලයකින් තොරව සිදුකරන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා කෙටි ගමන් යෙදීමට ඇත. පොදුවේ ඉගෙනීමේ කටයුතු සඳහා මධ්‍යම තත්වයක් ඇත. විභාග ආදියට පිළිතුරු ලිවීම සඳහා කල්වේලා මදිවන ස්වභාවයක් ඇත. වැඩ පස්සට කල්දැමීම ද ලොකු බාදාවකි.
සෞඛ්‍යය – පපුව ආශ්‍රිත සෙම් රෝග බහුල වනවා ඇත. ස්ත්‍රී පාර්ශවයේ ගර්භාෂය ආශ්‍රිත පීඩා සම්බන්ධ ව සැලකිලිමත් විය යුතුයි. වකුගඩු පීඩා ඇති අය සඳහා ඒවා බද්ධ කිරීම් ආදී සැත්කම් ද යෙදීමට ඇති වසරකි .
ආධ්‍යාත්මික නැඹුරුව – පංසල්, වෙහෙර විහාරස්ථාන, පූජනීය ස්ථාන අශ්‍රිත කටයුතු සඳහා නිතර ගමන් බිමන් යෙදීමක් ඇත. ආධ්‍යත්මික නැඹුරුව තම කර්තව්‍ය සඳහාම පමණක් වනවා ඇත. ගුප්ත ශස්ත්‍ර පසුපස වැඩිපුර ගැවසෙන වසරකි.
සුබ අංක – 5, 6, 8
සතියේ සුබ දින- බදාදා, සිකුරාදා, සෙනසුරාදා
මාසයේ සුබ දින- 5, 6, 8, 14, 15, 17, 23, 24, 26,
සුබ වර්ණ- සිල්ව පාට, ලා නිල්, තද නිල්


තුලා ලග්නාධිපති සිකුරු ධනු රාශිගතව, පුවසළ නැකතේ 2 වෙනි පාදයේ වෙමින් 3 වැන්නේ ද ගුරු,කුජ ලග්නගතව ද බුධ 2 වැන්නේ ද ශනි, රවි 3 වැන්නේ ද කේතු 4 වැන්නේ ද සඳු 8 වැන්නේ ද රාහු 10 වැන්නේ ද වෙමින් ද වර්ෂය ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – රැකීරක්ෂා සම්බන්ධ ව්‍යාකූලතා ඇකිවන වසරකි. විශේෂයෙන් ජනවාරි හා පෙබරවාරි මාස එම බාධා වැඩිපුර ඉස්මතුවන කාලයකි. නැවත මැයි පමණ සිට උත්සාහ කරන කටයුතුවල ප්‍රතිඵල හීන කරනවා ඇත. සෑම විටම හදිසි ප්‍රතිචාර දැක්වීමට අපේක්ෂාවෙන් සිටිය යුතුය. සෞඛ්‍යය අංශ, උපස්ථාන කටයුතු, දේශීය වෛද්‍ය අංශ ආදියේ රැකීරක්ෂාවල නිරතවන අයට ඉතා සුබ වසරකි. ව්‍යාපාරවලදී තමන්ට දරාගත නොහැකි ඉලක්ක වෙත පියනැගීමට යෙදෙන උත්සාහයන් පෙනේ. අගෝස්තු දක්වා කාලය නොවැටී යාමට උත්සාහ කළ යුතුයි. සහජ හැකියා,සැගවුණු දක්ෂතා ආදියෙන් ප්‍රයෝජන ගතහැක. ස්වයං රැකියා ආදිය සිදුකිරීමට ද පෙළඹෙනවා ඇත.
ගමන් බිමන් – ගමන් බිමන් බොහෝ අඩුවන වර්ෂයකි. නිවසෙන් පිටවීමට සිතනොදේ. ගියත් පර්යේෂණ, අධ්‍යාපන ආදී කටයුතු සඳහා පමණි. විදෙස්ගතවීමේ අපේක්ෂා ජනවාරි, පෙබරවාරි , මැයි, ජුනි යන මාසවලදී සාර්ථක වීමට ඉඩ ඇත.
විවාහය හා ගෘහ දිවිය – සුළු අර්බුද බාධා පැමිනීමට ඇත. කාලත්‍රයා නිතර නිවසේ නොරැදීම, ආගමික, ආධ්‍යාත්මික ආදී කාරණා සදහා නිවසෙන් පිට සිටීම එයට හේතුවක් වනවා ඇත. මාර්තු සහ අප්‍රේල් මාස දෙක ඉතා ඉවසීමෙන් තීරණ ගත යුතුයි. විවාහය දෙදරායාමට තරම් බාධා බහුලවන කාලයකි. අප්‍රෙල් මාසයෙන් පසු විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ඒවා ඉටුවීමට කාරණා යෙදෙනවා ඇත.
නව වත්කම් – අන් අයගේ උපකාරයෙන් යමක් ලැබීමට ඇත. එහෙත් විශාල වත්කමක උරුමකමක් නොපෙනේ. ඉඩකඩම් දේපොළ මිලදීගැනීම් ආදියට කල් යන ගතියකි. බාධා වීම් , ප්‍රමාදවීම් ඇතිවන ස්වභාවයක් පෙනේ.
අධ්‍යාපනය – ඉතා හොදයි. පරිඝණක , සියුම් විද්‍යාවන්ට අදාළ විෂයන්, නීති අංශ, උපදේශන විෂයන්, අධ්‍යාපනයට ඉතා සුබයි. පාසල් ආදියේ නායකත්ව ලැබීම්, ක්‍රීඩා ජයග්‍රහණ , දේශපාලක ආදියේ යෙදෙන්නේ නම් විශේෂ ජයග්‍රහණ ලබන වසරකි. ජයග්‍රහණ ආදියෙන් උද්දාමයට පත්වීමක් ඇත.
සෞඛ්‍යය – පපුව දැවිල්ල, ගැස්ට්‍රයිටිස් , පෙනහලු ආශ්‍රිත ආබාධ , හතිය වැනි තත්ත්වයන් බහුල වේ. බෙල්ල, උගුර ආශ්‍රිත ව දපීඩා ඇතිවීමට ඇත.
ආධ්‍යාත්මික නැඹුරුව – පදිංචි ස්ථානයේ අමනුෂ්‍ය දෝස , වාස්තු දෝස ආදිය කෙරේ වැඩිපුරම බියක් ඇති වේ. ඒ හේතුවෙන් ඒවාට පිළියම් සෙවීමට ආධ්‍යාත්මික අංශ කෙරේ වැඩි නැඹුරුවක් දක්වයි. කෙසේ නමුදු දීමේ ගුණය , පරිත්‍යාශීලි බව ද වැඩිවන වසරකි.
සුබ අංක – 1,5, 7, 8,
සතියේ සුබ දින- ඉරිදා, බදාදා, සෙනසුරාදා
මාසයේ සුබ දින- 1, 5, 7, 8, 10, 14, 16, 17, 19, 23, 26, 28,
සුබ වර්ණ- කහ, තැඹිලි , සිල්ව, කොළ, තද නිල්


වෘශ්චික ලග්නාධිපති අඟහරු තුලා රාශි ගතව විසා නැකතේ 2 වෙනි පාදයේ වෙමින් 12 වැන්නේ ද බුධ ලග්නයේ ද ශනි,රවි,සිකුරු 3 වැන්නේ ද සඳු 7 වැන්නේ ද රාහු 9 වැන්නේ ද ගුරු , කුජ සමග 12 වැන්නෙ ද තැන්පත්ව වර්ෂය ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – රැකීරක්ෂා සඳහා මධ්‍යම ප්‍රථිපල දායක වේ. වියදම් අධිකව ආරම්භ වන වසරකි . ආරම්භයේ ම ණය ගෙවීම්, විදෙස් ගමන් ආදියට මුදල් සිරකිරීම් දක්නට ඇත. බොහෝ දුරට මතු දියුණුවට කරන ආයෝජන උදෙසා විය හැක. මාර්තු, අප්‍රේල් මාස 2 රැකියා බාධා ඇති නමුත් ඒ තම වචන එහා මෙහා වීම නිසා තමන්ම ගොඩනගා ගන්නා තත්ත්වයක් මිස රැකියාවේ දෝසයක් නොව, රැකියාව වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන වසරකි. ඒ හේතුවෙන් ද අලාභ වැඩී. විදෙස් සබදතා සහිත ව්‍යාපාර සංචාරක, යන්ත්‍ර සූත්‍ර, ගිණුම්කරණ ආදී ක්ෂේත්‍රවලට අදාළ රැකියා ව්‍යාපාර සඳහා ඉතා සුබයි.
ගමන් බිමන් – උසස් අධ්‍යාපන කටයුතු, සංචාර ආදියට විදෙස්ගතවීමේ භාග්‍ය ඇත. පෙබරවාරි ,මාර්තු, ජුනි මාසවලදී එම බලාපොරොත්තු තදින්ම ඉටුවීමට කාරණා යෙදේ .පොදුවේ ගමන්බිමන් බහුල වසරකි.
විවාහය හා ගෘහ දිවිය – තදබල බාධා නැත. කතාබහ අඩුවන වසරකි. සහ සබඳතා තරමක් සීමාවනවා ඇත. මර්තු අප්‍රේල් මැයි, ජුනි මාස බාධාවීම් තදින් ඇත. කාලත්‍රයා ට හදිසි ගමන් යෙදෙන, නිතර මාර්ගවල සැරිසැරීමට සිදුවන බැවින් එම සබඳතා තව දුරටත් අඩුවනවා ඇත. විවාහ යොජනා පැමිණෙන නමුත් ඒවා ඉටුවීමට බාධා ඇත.
නව වත්කම් – ලැබීම් ඇත. මුදල් වැයවීම් බොහෝමයක් වත්කම් වර්ධනය, ස්ථාවර තැන්පතු ආදිය උදෙසා වනවා ඇත.
අධ්‍යාපනය – මෙරට අධ්‍යාපන කටයුතු සඳහා බාදා ඇත. විදෙස් අධ්‍යාපන, ජාත්‍යන්තර පාසල් ආදියේ යෙදෙන අධ්‍යාපන කටයුතු සදහා ඉතා සුබයි. එහෙත් විශ්ව දැනුම ලබන, විශ්වය සමග අන්තර් සබදතා ගොඩනගන වසරක් බැවින් නව පර්යේෂණ ආදියේ සුබ ප්‍රථිපල ලබාගත හැක.පොත්පත් ලිවීම් ආදී කටයුතු, ජ්‍යෝතිෂ ආදී විෂයන් හැදෑරීම ට සුබම වසරකි.
සෞඛ්‍යය – අසාමාන්‍ය හිස කැක්කුම් , මුඛය, දත් ආශ්‍රිත ආබාධ බහුල වේ. එයට අමතරව උගුරේ සිරවීම්, සෙම පැටලෙන ගති ඇතිවේ. වයසක අය එක්තැන් කිරීමට ද කාරණා ඇති බැවින් වැටීම්වලින් ආරක්ෂා විය යුතුයි.
ආධ්‍යාත්මික නැඹුරුව – ඉතා අඩුවන වසරකි. කුමක් හෝ දෙයක් ඉදිරියට දමා අධ්‍යාත්මික කටයුතුවලින් බැහැරවීමට උත්සාහ කරනවා ඇත. විශ්ව ගවේශන ආදිය හා ආධ්‍යාත්මික ගැඹුරු දේ අවබෝධ කර ගැනීමට සුබ වසරකි.
සුබ අංක 1, 2
සතියේ සුබ දින ඉරිදා, සඳුදා
මාසයේ සුබ දින- 1, 2, 10, 11, 19, 20, 28, 29
සුබ වර්ණ – කහ, තැඹිලි, සුදු


ධනු ලග්නාධිපති ගුරු තුලා රාශි ගතව, විසා නැකතේ පලමු පාදයේ වෙමින් කුජ සමග 11 වැන්නේ ද රවි,සිකුරු ,ශනි ලග්නයේ ද කේතු 2 වැන්නේ ද සඳු 7 වැන්නේ ද රාහු 8 වැන්නේ ද තැන්පත්ව වර්ෂය ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – රැකීරක්ෂා සඳහා සුබ තත්ත්වයක් ඇත. තරමක් ඇල්මැරුණ ස්වභාවයන් ගතවන වසරක් නමුදු අපේක්ෂා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුවනවා ඇත. මාර්තු දක්වා කාලය හා ජුනි සිට නොවැම්බර් දක්වා කාලය උදාසීනත්වයක් ඇති කරන නමුදු පර්යේෂණ , ගවේෂණ, ගුප්තශාස්ත්‍ර, වෛද්‍ය ක්ෂේත්‍ර ආදී අංශෙවලට අදාළ රැකියා ව්‍යාපාර සඳහා ඉතා සුබ වනවා ඇත. මුදල් ලැබීමේ මාර්ග හදිසියේ අඩපන වීමක් විඩෙන් විඩ දක්නට ලැබෙන බැවින් කිසිම මුදලක් අතට ලැබෙන තුරු විශ්වාසය නොතබා ගැනීම ඉතා හොදයි. හවුල් ව්‍යාපාර ආසිය සඳහා විශ්වාස වන්තයන් මුණගැසෙයි . රැකීරක්ෂා ආදියේ විශාල වර්ධනයක්, පිබිදීමක් , ගෞරව ලැබීමක් ඉදිරි වසරේ දක්නට නැත. තමුන්ගේ වැඩවලින් අනුන් ඉස්මතු වන ස්වභාවයක් ඇත. මැයි සිට නොවැම්බර් දක්වා රැකියාවේ වෙනස්වීම්වලට කාරණා යෙදීමට ඇත.
ගමන් බිමන් – උසස් අධ්‍යාපන කටයුතු ආදියට දුර ගමන් යෙදේ. ඉහත් සඳහන් කළ වෘත්තීන් ආදිය ඉගෙනීමට අදාළව වඩා සුබ බවක් ඇත. ප්‍රාථමික අධ්‍යාපනයේදි තරමක් පසුබෑම් ඇති කරයි. කම්මැළිකම , උදාසීනත්වය ඒ සදහා හේතුවයි .
විවාහය හා ගෘහ දිවිය – වචන එහාමෙහාවීම් නිතර දක්නට ඇත. ජනවාරි සහ මැයි සිට නොවැම්බර් දක්වා සුළු මතගැටුම් ඇතිවීමට ඇත. එහෙත් ගුරුගේ ප්‍රබල දෘෂ්ටියෙන් බොහෝ බාධා පීඩා වක් නොවී විසදෙනවා ඇත. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ඒවා ඉටුවීමට කාරනා යෙදෙන වර්ෂයකි.
නව වත්කම් – ධනය ඉතිරිකිරීමේ උවමනාව ඉකා තදින් දැනෙනවා ඇත. එහෙත් මූල්‍ය ගැටලු එයට හරස්වනවා ඇත. දේපළ සම්බන්ධ හිමිකමක් ඉදිරි වසරේ දී පෙනෙන්නට ඇත. ජුනි, ජූලි මාස නඩු පැටලෙන, හිතවතුන් තාවකාලිකව ඈත්වන කාලයකි.
සෞඛ්‍යය – හිස බරගති, කොලෙස්ටරෝල් ආදිය වැඩිවීම නිසා හටගන්නා අතුරු ආබාධවලට ඉඩ ඇත. සෙනසුරු හෝ රාහු මහදශාව ගතකරන අය මැයි සිට තරමක් ප්‍රවේශම් විය යුතුයි. හදිසි අනතුරු, වැටීම් ආදිය නිසා පීඩාවීම් ඇත.
ආධ්‍යාත්මික නැඹුරුව – වන්දනාමාන සඳහා දීර්ඝ ගමන් බිමන් යෙදෙනවා ඇත. එහෙත් වැදීමක්නම් නැත. ගැඹුරු දර්ශනයන් අවදිකර ගැනීමට උත්සුක වන වසරකි. ඒ සඳහා යහපත් ගුරු ඇසුර ලැබෙනවා ඇත. භාවනා ආදී කටයුතු සඳහා නිවසෙන් පිටත්වීමට ඉඩ ඇත.
සුබ අංකය – 1, 3, 9
සතියේ සුබ දින – ඉරිදා, බ්‍රහස්පතින්දා , අඟහරුවාදා
මාසයේ සුබ දින – 1, 3, 9, 10, 12, 18, 19, 21, 27, 28, 30
සුබ වර්ණ – කහ, තැඹිලි, දම්, රතු


මකර ලග්නාධිපති සෙනසුරු ධනු රාශි ගතව මුල නැකතේ 3 වන පාදයේ වෙමින් සිකුරු , රවි සමග 12 වැන්නේ ද කේතු ලග්නයේ ද සඳු 6 වැන්නේ ද රාහු 7 වැන්නේ ද ගුරු, කුජ 10 වැන්නේ ද බුධ 11 වැන්නේ ද තැන්පතව වසර ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – වර්ෂ ආරම්භය රැකියා සදහා තරමක් බාධා ඇතත් මාර්තු මාසයෙන් පසු සුබ තත්ත්වයක් ඇත. උපදේශන සේවා, රජයේ රැකියා, කළමනාකාරණ අංශවලට අදාළරැකීරක්ෂා ආදියේ යෙදෙන අයට විශේෂ වාසි අත්වනවා ඇත. රැකියාව අතරතුර ව්‍යාපාර අවස්ථා ද විවරවන අතර ඒ සඳහා දීර්ඝ කාලීන ණය ගැනීම් ඇත. ගිවිසුම් ගත නොවූ හවුල් ව්‍යාපාරවලදී නැති ප්‍රශ්න ඇතිවනවා ඇත. කෙසේ නමුත් අගෝස්තු මාසය දක්වා කාලය යම් උභතෝකෝටික ස්වභාවයක් පෙන්නුම් කරන අතර හිතෙන දේ කරනවාද, නොකරනවා ද යන චකිතයෙන් ගත වනවා ඇක. තමා රාජකාරි කරන ආයතනය ඉතා හොද දියුණුවක් ලබන ආයතනයක් බැවින් වැටුපට අමතරව වෙනත් දීමනා ද යහමින් ලබනවා ඇත. තමාගේ කැපවීම උසස් නිලධාරීන් ගේ පැසසුමට ලක්වීම් ඇත. තමා පිළිබඳ ⁣ගෞරව දැක්වීම් ද පෙනෙන්නට ඇත.බොහෝ සඵලවීම් අගෝස්තු මාසයෙන් පසු යෙදෙන අතර ඊට පෙරසිට ලැබීම් ඇතත් තෘප්තිමත් නැත. නව ව්‍යාපාර ආදියට අතගැසීම නම් සුබම නැත.
ගමන් බිමන් – යහළුමිත්‍රාදීන් ගේ කටයුතු සඳහා වන ගමන් බිමන් බහුල වනවා ඇත. රැකී රක්ෂා සඳහා විදෙස් රටවල ආරාධනා ලබන කාලයකි. එහෙත් විදෙස්ගතවීමේ උවමනාව ඉතා අල්ප වනවා ඇත. හදිසි කෙටි ගමන් ඇතත් වැඩිපුර නිවසේ රැදීමට සිතෙන කාලයකි.
විවාහය හා ගෘහ දිවිය – බිරිය ගේ හෝ සැමියාගේ ආදරය කරුණාව වැඩිපුර ලබන කාලයකි. රාහු 7 වැන්නේ බැවින් විවාහ බාධා ඇතත් ඒවා ක්‍රියාත්මක වීමට කාලත්‍රයා ඉඩ නොදෙනවා ඇත. ඉදිරි වසර අගෝස්තු දක්වා කාලය මකර ලග්න හිමියන් මොනදේත් එපාවුන ඔහේ යන මානසිකත්වයෙන් ගත කරන බැවින් මොනදේකින්වත් 100% ක් තෘප්තිමත් නැත.
නෑදෑ, දූ දරු හෝ වෙනත් සබඳතා – නව ඥාතී සබදතා ගොඩනගා ගැනීමක් නොපෙනෙන අතර තිබෙන ඒවා ඒ ආකාරයෙන් ම පවතිනවා ඇත. මවට හතිය ආදී රෝග පීඩාවන් ඇතිවීමට ඇත. හවුල් කරුවන් යහළු මිත්‍රාදීන් නිසා අමාරුවේ වැටීමක් අප්‍රේල් දක්වා පෙනෙන්නට ඇත. මාර්තු , අප්‍රේල් මසෙ දෙක බොහෝ අහිමිවීම්, පදිංචියේ ගැටලු, ඥාතීන් ගේ කරදර බාධා බහුල වීමට ඇත. තරහ වී සිටින අය මිතුරුවන කාලයකි.
නව වත්කම් – යමක් ඉතිරිකිරීමට පෙළඹෙන නමුත් ඒවා අසාර්ථක වනවා ඇත. පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගන්නා දේපළ ආදියේ හිමිකම් ඇත. මුදල් ඉතිරිකිරීමේ උපායක් ලෙස එසේ සිදුකිරීම සුබයි. ධනයෝජන තැන්පතු, දීර්ඝකාලීන ණයගැනීම් බොහෝ ඇත. වාහන, බර වාහන අදිය මිලදී ගැනීමට ඉඩ ඇත.
අධ්‍යාපනය – කම්මැලිගති, නිතර ඇතිවන නිදිමත ගති ඉගෙනීම් කටයුතු සඳහා බාධා ඇතිකරන ප්‍රධානම කාරනය වේ. ප්‍රාථමික අධ්‍යාපනයට ඒ හේතුවෙන් බෙහෝ බාධා ඇතිවේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා ද බාධා ඇතත් ඉදිරි වසර තමන් උගත් දේ අනුන්ට දීමට හෙවත් ඉගැන්වීමට ප්‍රියවන කාලයක් බැවින් එම බාධා බලපැවැත්වෙන්නේ නැත.
සෞඛ්‍යය – සෞඛ්‍යයට නම් නරකම වසරකි. ඉරුවාරදය, පීනස හෝ හිස ආශ්‍රිත පීඩා බහුල වන අතර අගෝස්තු දක්වා කාලය නිතර රෝහල්ගතවීම් ද දක්නට ඇත. කෘත්‍රිම දන්ත ප්‍රථිකාර ආදියට ද ඉඩ ඇත.
ආධ්‍යාත්මික නැඹුරුව – බණ අහන, බණ කියන කාලයකි. පිළිපැදීම ද බණඅහන අයටම පවරනවා මිස තමන් ඒ කෙරේ උනන්දු නැත. දේවාල වැඩ ආදියට තරමක පෙළඹීමක් ඇත. මනස තැන්පත් කරගත හැකි වසරකි.
සුබ අංකය – 5, 6
සතියේ සුබදින – බදාදා, සිකුරාදා
මාසයේ සුබ දින – 5, 6, 14, 15, 23, 24
සුබ වර්ණ – සිල්ව, ලා නිල්


කුම්භ  ලග්නාධිපති ශනි ධනු රාශිගතව මුල නැකතේ 3 වන පාදයේ වෙමින් රවි හා සිකුරු සමග 11 වැන්නේ ද කේතු 12 වැන්නේද සඳු 5 වැන්නේද රාහු 6 වැන්නේද ගුරු, කුජ 9 වැන්නේ ද බුධ 10 වැන්නේ ද වෙමින් මාසය ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – රැකීරක්ෂා ආදියට ඉතා සුබ වර්ෂයකි. අපේක්ෂා අරමුණු බොහොමයක් සුබවාදීව ඉෂ්ඨ වීමට ඇත. තරමක් තර්කානුකූල මානසිකත්වයක් ඇතිවන බැවින් ව්‍යාපාර ආදිය සිදුකිරීමට පෙර දෙතුන්වරක් සිතා බලයි. අධ්‍යයනයන් සිදුකරයි. එබැවින් ව්‍යාපාර අදියේ දී ද අතීතයේ මෙන් ඉදිරිය අසාර්ථක වන්නේ නැත. තරමක් ලෝභීව වියදම් කරයි. රුපියලක් හෝ ඉතිරිකර ගැනීමට සිතයි. රැකීරක්ෂාවලදී සතුරු කරදර එමට ඇතත් ඒවා පරදා ජයග්‍රහනය ලැබීමේ භාග්‍ය ඇත. විදෙස් රැකියා ආදියේ ප්‍රමාදවීම් ඇතත් ජනවාරි හා මැයිසිට නොවැම්බර් අතර කාල ඒ සඳහා අවස්ථාව උදා වේ. ලෝහ, යාන වාහන, වෙළෙදාම් සම්බන්ධ ව්‍යාපාර, උපදේශන අංශ වලට අදාල රැකීරක්ෂා සදහා ඉතා සුබයි. මැයි දක්වා කාලය හදිසියේ ඇතිවන තදබල ධනහානි ඇත.
ගමන් බිමන් – විනෝද ගමන්, දුර ගමන් ආදියට බාධා ඇත. රැකියා කටයුතු සදහා විදෙස්ගතවීමේ භාග්‍ය ඇතත් ඒවාද සිතාසිටින කා‍ලවලදී ඉටු නොවී කල් යාමට ඉඩ ඇත. අධ්‍යාත්මික ගමන් බිමන්, සංචාර, භාවනා ආදී කටයුතු සදහා පිටත්වීම් ඇත.
විවාහය හා ගෘහ දිවිය – බිරිය හෝ සැමියා හදිසියේ ⁣නිවසෙන් පිටත්වීමට ඉඩ ඇත. කාලත්‍රයාගේ විදෙස් ගමන් එකවර සාර්ථක වනවා ඇත. කාලත්‍රයා ගේ වියදම් ද උපරිම වන බැවින් විවාහ දිවියේ සුළු මතගැටුම් ඇතිවීමට ඉඩ ඇත. මාර්තු අප්‍රේල් මාස විශේෂයෙන් කල්පනාකාරීව වැඩකළ යුතුයි. දෙදෙනාගේ අභ්‍යන්තර වුවමනා එපාකම් හොදින් අවබෝධ කරගත යුතුයි. විවාහ ආදී කටයුතු ද ප්‍රමාදවීම්, බාධාවීම් ඇත. ඒ හේතුවෙන් ප්‍රේම සබදතා ද බිඳවැටීම ට ඉඩ ඇත. රාහු මහදශා, අතුරු දශා ගතකරන අය විශේෂයෙන් කල්පනාකාරී විය යුතුයි.
නව වත්කම් – නව වත්කම් ගොඩනගා ගැනීමට අගෝස්තු දක්වා බාධා ඇත. ඉඩකඩම් ,යාන වාහන සම්බන්ධව ද වියදම් අධික වේ.
අධ්‍යාපනය – අධ්‍යාපන කටයුතු සදහා ඉතා සුබ වසරකි. ඒවායේ ජයග්‍රහණ, ක්‍රීඩා ජයග්‍රහණ ලැබීම් ඇත. ප්‍රාථමික අධ්‍යාපන චාරිකා ආදියද යාමට ඇත. අප්‍රේල් දක්වා පමණක් බාධා ඇත. වෛද්‍ය ක්ෂේත්‍ර, උපදේශන ආදී අංශවලට අදාළ උසස් අධ්‍යාපනයට ඉතා සුබයි.
සෞඛ්‍යය – උරහිස් ආබාධ, මුහුණ, කන ආශ්‍රිත ආබාධ බහුලව යෙදේ. හේතු රහිතව රෝහල්ගතවීම්වලට ඉඩ ඇත.
ආධ්‍යාත්මික නැඹුරුව – වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම් ඒවාට භෞතිකව උපකාර කිරීම් පෙනෙන්නට ඇත. ඒ හේතුවෙන් තමන්ගේ නම කියැවෙනවා ඇත. යථා අවබෝධය උදෙසා යම් වෙහෙසක් දරණ වර්ෂයකි.
සුබ අංකය – 3, 5, 7
සතියේ සුබ දින – බ්‍රහස්පතින්දා , බදාදා
මාසයේ සුබ දින – 3, 5, 7, 12, 14, 16, 21, 23, 25, 30
සුබ වර්ණ – දම්, සිල්වර්


මීන ලග්නාධිපති ගුරු තුලා රාශි ගතව විසා නැකතෙ 1 වන පාදයේ කුජ සමග සංයෝග ව 8 වැන්නේ ද බුධ 9 වැන්නේද ශනි, රවි, සිකුරු 10 වැන්නේද කේතු 11 වැන්නේද , සදු 4 වැන්නේද රාහු 5 වැන්නේ ද තැන්පත්ව වර්ෂය ආරම්භ වේ.
ධනය හා රැකීරක්ෂා – තරමක් බාධාකාරී වර්ෂයකි . උවමනා නැති හදිසිය කලබලය නිසා බොහෝ දෑ අහිමිකර ගැනීමට ඉඩ ඇත. ඒවා හිටි හැටියේ අසාර්ථක වන අතර එය දරාගත නොහැකි පීඩනයක් වනවා ඇත. රැකීරක්ෂා වෙනුවෙන් අසාමාන්‍ය ලෙස වෙහෙසීමට සිදුවේ. එහෙත් ඇගයීම් නැත. ඒවා වෙනුවෙන් විප්ලව කිරීමට ගොස් තියනටිකත් නැතිකර ගැනීමට ඉඩ ඇත. කිට්ටුවන්තයන් ගේ කුමන්ත්‍රණ ආදියට හසුවන කාලයකි. කෘෂිකාර්මික කටයුතු , ධාර්මික කටයුතුවලට අදාළ රැකියා ව්‍යාපාර සදහා නම් දෝස තරමක් අඩු වේ. මාර්තු, අප්‍රේල් ඉතා කල්පනාකාරීව තීරණ ගත යුතුයි. ඉදිරි වසරේ දී බාධා වැඩිම ලග්නය මීනය කිවහොත් වැරදි නැත.
ගමන් බිමන් – අනුන්ගේ වැඩවලට නිකරුණේ ඇවිදින කාලයකි. අනවශ්‍ය ගමන් යන අවශ්‍ය ගමන් නොයන වසරකි. විදෙස් ගතවීම් ආදියට ජනවාරි, පෙබරවාරි, නොවැම්බර් , දෙසැම්බර් මාස වල දී කාරනා යෙදීමට ඇත.
විවාහය හා ගෘහ දිවිය – කාලත්‍රයා ද බාහිර අය සමග අනවශ්‍ය පටලැවිලි ඇතිකර ගන්නා කාලයකි. ක්ෂණිකව ධනය සෙවීමට ගොස් අමාරුවේ වැටීම් කාලත්‍රයා ට ඇත. බොහෝ දේ සඟවන අතර සියල්ල තදින්ම සිර වූ විට කලබලයෙන් දඟලනවා ඇත. එනම් කාලත්‍රයා ගෙන් ද සහනයක් නොලබන බවයි. එහෙත් නිවාහයේ සමගිය සුරැකෙනවා ඇත. ඔක්තෝබර් මාසයෙන් පසු සහන දායී තත්ත්වයක් ආරම්භ වීමට ඇත.
නව වත්කම් – නව වත්කම් ගොඩනගා ගැනීමට වඩා ඇති දේ පරිස්සමෙන් පරිහරණය කිරීමට උත්සාහ ගත යුතුයි. බ්‍රහස්පති මහ දශාව ගතකරන අයට දේපළ සම්බන්ධ ලැබීම් ඇත. පෙබරවාරි මාසය ඉඩකඩම් මිලදී ගැනීමට කාරණා ඇත.
අධ්‍යාපනය – අනවශ්‍ය කලබලකාර ගතිය නිසා ඉගෙනීම් කටයුතුවලට බාධා ඇත. සැප්තැම්බර් මාසයෙන් පසු ආරම්භ වන උසස් අධ්‍යාපන කටයුතු සදහා සුබයි. එතෙක් බාධා ඇත.
සෞඛ්‍යය – මානසික පීඩනය උපරිමවන වසරකි . ආතරයිටිස් , දනහිස් ආබාධ, කොලෙස්ටරෝල් , දියවැඩියා ආදී මෙතෙක් අත් ⁣නොවිඳි යම් රෝග පීඩා ඉදිමතුවීමට ඉඩ ඇත.
ආධ්‍යාත්මික නැඹුරුව – එකම ප්‍රතිකර්මය එයයි. ආධ්‍යාත්මික කටයුතු සදහා නැඹුරුව අඩු නමුදු ඉදිරි බාධාවන් ගෙන් අත් මිදීමට නම් අකමැත්තෙන් හෝ නැඹුරු විය යුතුයි.
සුබ අංකය – 2, 9
සතියේ සුබ දින- අඟහරුවාදා , සඳුදා
මාසයේ සුබ දින – 2, 9, 11, 18, 20, 27, 29
සුබ වර්ණ- සුදු , රතු


ජ්‍යොතිෂවේදී – එම්.ජී. කේ. ප්‍රියදර්ශන ආරියරත්න

No comments:

Post a Comment

Post Bottom Ad