ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති "ඒෂියන් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්‌ටිවල්" සිනමා සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ප්‍රවීණ නිළි අනෝමා ජනාදරි විසින් හිමිකර ගත්තාය. ඒ ඇය විසින් සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්‌ෂණය කළ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ජීවය දෙමින් සිදු කළ විශිෂ්ට රංගන කුසලතාව වෙනුවෙන්ය. කෙසේ වෙතත් සම්මානය දිනා ගැනීමත් සමග අධ්‍යක්ෂකවරයා සහ අනෝමා ජනාදරී ප්‍රවීණ රංගන ශිල්පිණිය අතර සීතල යුද්ධයක් ඇති වූ අතර පුවත්පතක් සමග අදහස් දක්වමින් අනෝමා ජනාදරී ඒ පිළිබදව හෙළිකර තිබුනා.
එම සංවාදය පහතින්,
ප්‍රශ්නය - ඔබ මීට පෙරත් අන්තර්ජාතික සිනමා සම්මානයට පාත්‍ර වූ නිළියක්. ඒ පිළිබඳ යම් සඳහනක් කරනවා නම්.
පිළිතුර - ඔව්. 2003 වර්ෂයේදී 16 වැනි සිංගප්පූරු අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී මම හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙනවා. මම එදා හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නෙ "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටය සඳහා කළ අසීරු රංගනය වෙනුවෙන්.
ප්‍රශ්නය - ඉන් වසර 14 ට පසු මෙවර නැවතත් ඔබ හොඳම නිළිය සඳහා වන අන්තර්ජාතික සම්මානය දිනා ගන්නවා. ඒ පිළිබඳව ඔබට දැනෙන හැඟීම කවරාකාරද?
පිළිතුර - ඒෂියන් වර්ල්ඩ් සිනමා සම්මාන උළෙලේ මම හොඳම නිළියට හිමි සම්මානය දිනා ඇති බව මට පවසන්නේ සහෝදර රංගන ශිල්පියෙකු වන දසුන් පතිරණ විසින්. සම්මාන උළෙල පවත්වපු නොවැම්බර් 02 දාට පසු දින තමයි ඔහු විසින් මේ ආරංචිය මට ගේන්නෙ. ඇත්තටම ඒ පුවත මට පමණක් නොවෙයි පොදුවේ ලාංකික සිනමා කර්මාන්තයට ලෝකය ඉදිරියේ හිමි වූ සුවිශේෂී සම්මානයක්. පුද්ගලිකව ගත්තොත් රංගන ශිල්පිනියක් ලෙස අතිශය සතුටට කාරණයක්.
ප්‍රශ්නය - මීට පෙරත් "දැවෙන විහඟුන්" චිත්‍රපටය අන්තර් ජාතික සිනමා උළෙලවල් නියෝජනය කර තිබෙනවද?
පිළිතුර - කොරියාව, ජපානය, ස්‌විට්‌සර්ලන්තය, නෙදර්ලන්තය, ජර්මනිය ඇතුළු රටවල් රාශියක පැවැත්වූ සම්මාන උළෙලවල් සඳහා "දැවෙන විහඟුන්" චිත්‍රපටය ඉදිරිපත් කරලා තිබුණා. එහිදී මේ චිත්‍රපටය අධ්‍යක්‌ෂණය කළ සංජීව පුෂ්පකුමාර සම්මාන පවා ලබාගෙන තිබෙනවා.
ප්‍රශ්නය - ඔබ නඟන චෝදනාවක් තමයි තවමත් එම සම්මානය ඔබට හිමි නොවූ බව. ඒ සම්බන්ධයෙන් ඔබ චෝදනා කරන්නෙ චිත්‍රපට අධ්‍යක්‌ෂවරයාට. එහි ඇත්ත නැත්ත කුමක්‌ද?
පිළිතුර - "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ මගේ රංගනයට හිමි සම්මානය අධ්‍යක්‌ෂවරයා විසින් ලබා ගන්නෙ පසුගිය නොවැම්බර් 02 වැනිදා. මේ වෙනකොට සම්මානය ලබා ගෙන සති දෙකක් ගත වෙලා ඉවරයි. මේ වෙනතුරුත් ඒක මට ලබාදීම සම්බන්ධයෙන් කිසිම දැනුම් දීමක් කරලා නැහැ. එහෙම තත්ත්වයක් තුළ මට ඒ සම්බන්ධව අවිනිශ්චිත බවක් පවතිනවා. මොකද මීට පෙර 2003 වර්ෂයේදී මා හොඳම නිළිය ලෙස අන්තර් ජාතික සිනමා සම්මානය දිනා ගන්නවා. පහුවදාම ඒක මට ප්‍රදානය කරනවා. තවත් උදාහරණයක් කියනවා නම් වරක් අපේ ප්‍රවීණ නිළියක් වන අනෝජා වීරසිංහ ජාත්‍යන්තර සිනමා උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නවා. ඇයට කරන ගෞරවයක් ලෙස කටුනායක ගුවන්තොටුපළේ සිට ඇයට රටෙන් හිමි විය යුතු ගෞරවය ලබා දෙනවා. ඒක කළ යුත්තක්. මොකද මේ හරහා වෙන්නෙ රටට කීර්තියක් අත්පත් කර දීමක්.
ප්‍රශ්නය - මේ පිළිබඳව ඔබ චෝදනා කරන්නේ චිත්‍රපට අධ්‍යක්‌ෂවරයාටද?
පිළිතුර - ඔව්. ඔහු මානුෂික විය යුතුයි චිත්‍රපටය සඳහා යම් සම්මානයක් හිමි වුණා නම් එය අදාළ ශිල්පියාට හෝ ශිල්පිනියට ලබා දෙන්න. මේ සිද්ධිය හරහා මට හැඟී යන කාරණය තමයි ඔහු විසින් දැවෙන විගඟුන් චිත්‍රපටය සම්මානය සඳහා යොමු කරන්නෙ චිත්‍රපටයට මිස එහි රංගනයේ යෙදෙන ශිල්පි ශිල්පිනියන්ට සම්මාන හිමිවීමේ බලාපොරොත්තුවෙන් නොවෙයි. නමුත් ඔහුවත් අපේක්‌ෂා නොකළ අයුරින් මම හොඳම නිළිය බවට පත්වීම තුළ ඔහු ඇතුළෙ ගොඩනැඟිල තියෙන්නෙ වික්‌ෂිප්ත භාවයක්. අඩුම තරමින් චිත්‍රපට සංස්‌ථාවට හෝ ඒ මගින් මට මේ සම්මානය ලබාදීමටවත් මේ අධ්‍යක්‌ෂවරයා තවමත් මානුෂික වෙලා නැහැ.
ප්‍රශ්නය - ඒෂියන් වර්ල්ඩ් සිනමා සම්මාන උළෙලේදී ඔබ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීම සුවිශේෂී වීමට බලපාන කරුණු මොනවද?
පිළිතුර - රටවල් 52 ක් ඉදිරිපත් කළ සිනමා කෘති අතරින් තමයි දැවෙන විහඟුන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මට හොඳම නිළියට හිමි සම්මානය හිමි වෙන්නෙ. අනික් කාරණය තමයි ඔස්‌කාර් සිනමා උළෙල පිණිස ප්‍රවේශය නිර්මාණය කර ගැනීමේ ප්‍රවර්ධන සිනමා උළෙලක් ලෙස තමයි ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙල සංවිධානය කරන්නෙ. එහෙම තත්ත්වයක් තුළ එහි හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගැනීම සුවිශේෂී තත්ත්වයක්.
ප්‍රශ්නය - තවමත් සම්මානය ඔබ අතට පත් නොවීම සම්බන්ධව සෘජුවම ඔබ චෝදනා නඟන්නෙ අධ්‍යක්‌ෂවරයට. එය කොතරම් දුරට සාධාරණද?
පිළිතුර - මේ ගැටලුවට පසුබිම නිර්මාණය වෙන්නෙ චිත්‍රපටය රූගත කරන අවදියේ පටන් කිව්වොත් නිවැරදියි. මොකද මම මේ චිත්‍රපටයේ රඟපෑම් කිරීම පිණිස මගේ පැත්තෙන් අධ්‍යක්‌ෂවරයා වෙත ගිවිසුමක් ඉදිරිපත් කළා. ඒකට හේතුව තමයි මේක අසීරු රංගන කටයුත්තක් වීම. ඇතැම් විට රූගත කිරීම්වලදී ශාරීරික ආබාධ පවා ඇති වීමට ඉඩකඩ තිබුණා. නමුත් ඒ සඳහා අධ්‍යක්‌ෂවරයාගේ එකඟතාවක් ලැබෙන්නෙ නැහැ. එතන තමයි මේ විරසකයේ ආරම්භය. මගේ රංගනය වෙනුවෙන් මට හිමිවිය යුතු ගෞරවය ඔහු හංගගෙන ඉන්නෙ ඒ හින්දා වෙන්න ඇති.
සංවාදය : රුවන් ජයවර්ධන , දිවයින
Sunday, November 19, 2017
Home
ඕපාදුප
" තාමත් සම්මානය අතට දුන්නේ නෑ " ලිංගික දර්ශන 14ක් ඇතුලත් ආන්දෝලනාත්මක චිත්‍රපටයට හිමිවූ සම්මානය ගැන අනෝමා ජනාදරී කතා කරයි .!
" තාමත් සම්මානය අතට දුන්නේ නෑ " ලිංගික දර්ශන 14ක් ඇතුලත් ආන්දෝලනාත්මක චිත්‍රපටයට හිමිවූ සම්මානය ගැන අනෝමා ජනාදරී කතා කරයි .!
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment