අනාගත යුද්ධය ජලය වෙනුවෙන්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

අනාගත යුද්ධය ජලය වෙනුවෙන්…

Mahinda_amaraweera_03-08-2016

ලෝක භූමි ප්‍රමාණයෙන් 75%ක් ජලය ඇති නමුත් ඉන් පානීය ජලය සඳහා යොදාගත හැක්කේ 0.01%ක ප්‍රමාණයක් බවත් අතීතයේ දී තෙල් නිධි හේතුවෙන් රටවල් අතර යුද්ධයන් ඇති වූවාවක් මෙන් අනාගතයේ දී පානීය ජලය හේතුකොටගෙන ද රටවල් අතර යුද්ධයන් ඇතිවීමේ ඉඩකඩ පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේ පැවැති ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය හා වෙරළ පිරිසිදු කිරීම - 2017 වැඩසටහන සඳහා සහභාගි වෙමිනි. "ප්ලාස්ටික් හා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් භාවිත කිරීම තහනම් කරමින් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අභියෝගාත්මක තීරණයක් ක්‍රියාත්මක කළා. ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීම සඳහා පරිසරයට සිදුවන හානියට එහා ගිය යමක් තිබෙනවා. අදවන විට ලෝකය පුරා අතලොස්සක් රටවල් තමයි මෙවැනි ද්‍රව්‍යයන් භාවිත කරනු ලබන්නේ. 

මේවා භාවිතයේ දී විෂ රසායන ද්‍රව්‍යයන් නිෂ්පාදනය වන බවට සොයාගෙන තිබෙනවා. ඒ නිසයි පොලිතින් නිෂ්පාදන කිහිපයක් තහනමට ලක් කළේ. මේ පිළිබඳ ව නිසි දැනුම්වත් වීමකින් නිසි පාලනයක් ඇතිකර ගත හැකියි" යැයි ද කීය. ආසියානු රටවල් මෙන් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලින් වාර්ෂිකව ප්ලාස්ටික් ඇතුළු අහිතකර ද්‍රව්‍යයන් මෙට්‍රික් ටොන් මිලියන 6.4ක් මුහුදට මුසු වෙන බවත් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වුවහොත් සාගරයේ අසිරිය පමණක් නොව ඉන් නෙලාගන්නා දෙවල් සඳහා ද අනාගතයේ දී තර්ජන ඇතිවිය හැකි බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එබැවින් ඉදිරියේ දී ධීවරයාට නිසි මත්ස්‍ය අස්වැන්නක් ලබාගත නොහැකි වන බවත් පෙන්වා දුනි. 

මේ වන විට ප්ලාස්ටික් තන්තු (Fibre) ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරගත නොහැකිව පවතින බවත් එබැවින් බෝට්ටු මෙන් ම ධීවර කර්මාන්තය සඳහා යොදාගන්නා සෙසු ආම්පන්න නිෂ්පාදනය සඳහා තන්තුමය ප්ලාස්ටික් නොවන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය යොදාගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යංශ නිලධාරීන් වෙත තමන් උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය. අපට ඇති සම්පත්වල වටිනාකම අවබෝධ කරගත යුතු බවත් වෙරළ ආරක්ෂා කිරීමට සිදුකරන මෙම වැඩපිළිවෙළ හරහා කිලෝමීටර් 1600ක් පමණ වන වෙරළ තීරය එක් දවසකින් මෙන් ම සතියකින් පිරිසිදු කර අවසන් කළ නොහැකි බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. 

වෙරළ පමණක් පිරිසිදු කිරීමෙන් නිසි ලෙස අරමුණු ඉටුකරගත නොහැකි බවත් සියලු කටයුතු සඳහා ජනතාව මෙන් ම දේශපාලන අධිකාරිය එකට එක්ව කටයුතු කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad