මුස්ලිම් පාසල් නිවාඩුවේ වෙනසක්! ගුරු සංගමයෙන් විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

මුස්ලිම් පාසල් නිවාඩුවේ වෙනසක්! ගුරු සංගමයෙන් විරෝධය

සියලුම මුස්ලිම් පාසල් වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීමේ දිනය හා තෙවන වාරය ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සියලුම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ අදියර දෙකක් යටතේ නිවාඩු ලබාදීම සිදුවන අතර එහි පළමු අදියර 2017.05.27 සිට 2017.06.27 දක්වා නිවාඩු ලබා දී තිබුණි. එහි දෙවන අදියර සඳහා (අද) 2017.08.18 සිට 2017.08.27 වන දින දක්වා නිවාඩු ලබා දීමට නියමිතව තිබුණි. නමුත් සැප්තැම්බර් මස 01 වනදාට යෙදෙන හජ්ජි උත්සවය හේතුවෙන් එම නිවාඩු දිනයන්හි සංශෝධනයක් සිදුකර ඇත.

ඒ අනුව සියලු ම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා අද සිට ලබා දීමට තිබූ නිවාඩුව අවලංගු වන අතර ඒ වෙනුවට 2017.08.31 සිට 2017.09.08 දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය, 2017.09.11 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.

ගුරු සංගමයේ විරෝධය..

මේ අතර මුස්ලිම් පාසල්වල තෙවැනි වාරයේ නිවාඩු ආරම්භය අද (18) යෙදී තිබුණත් එය මේ මස 31 වැනි දා දක්වා දිර්ඝ කිරීමට අධ්‍යාපන බලධාරින් හදිසියේ ගෙන ඇති තීරණය පිළිබඳව ලංකා ගුරු සංගමය සිය අප‍්‍රසාදය පළ කරයි. ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙසේ අත්තනෝමතිකව පාසල් නිවාඩු කාලසටහන වෙනස් කිරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් විරහිත භාවය ප‍්‍රදර්ශනය වන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉකුත් 5 වැනිදා නිකුත් කරන ලද පාසල්වාර සටහන සහිත 23/2016 චක‍්‍රලේඛයෙන් මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය 18 දින අවසන් කොට යළි අගෝස්තු 28 පාසල් ඇරැඹීමට නියමිතව තිබු අතර 17වැනිදා වන විට සියලූම මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබාදීම සඳහා ප‍්‍රගති වාර්තා සකස්කර, දෙමව්පිය රැස්වීම්, ගුරු රැස්වීම් සංවිධානය කොට තිබු බවද ලේකම්වරයා පැවසීය. එසේ තිබියදී අධ්‍යාපන අමාතයාංශය ඊයේ (17) රාති‍්‍රයේ සිට පසුදින ලබාදීමට නියමිත නිවාඩුව අවලංගු කළ බව මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරන ලදී. 

ඒ අනුව පාසල් නිවාඩුව 2017.08.31 දින සිට ඇරැඹෙන බවත් දැන්වූ බවද හෙතෙම සඳහන් කළේය. මෙය අත්තනෝමතික පීඩාකාරී තීරණයක් බව පැවැසූ ස්ටාලින් මහතා එවැනි නිවාඩු වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා නම් එය සතියකට පෙර හෝ දැනුම් දීමට අපොහොසත් වීමෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් විරහිත භාවය හා අකාර්යක්ෂම භාවය මනාව ප‍්‍රදර්ශනය කොට ඇතැයි ද පැවැසීය.

මුස්ලිම් පාසල්වල මුස්ලිම් නොවන සිංහල හා දෙමළ ගුරුවරු සේවය කරන බවත් මේ තීරණය හේතුවෙන් ඔවුන් ද අපහසුතාවට පත්ව ඇති බවත් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad