ප්‍රශ්න පත්‍ර පිටවීම පිටුපස කතාව හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 23, 2017

ප්‍රශ්න පත්‍ර පිටවීම පිටුපස කතාව හෙළිවෙයි

උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධිය පිටුපස වෛද්‍යවරයෙකු සහ ඔහුගේ පුත්‍රයා සිටිනා බවට පොලිසියට ලැබුණු තොරතුරක් නිසා ඒ බව තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන භාර දී ඇති බව වාර්තා වේ.

පොලීසියට ලැබී ඇති තොරතුරුවල මුදල් ගනුදෙනුවක් පිළිබඳව ද සඳහන් වන බව වාර්තා වේ. ලැබී ඇති තොරතුරු අනුව අදාළ වෛද්‍යවරයා උපකාරක පංති ගුරුවරයාට පවසා ඇත්තේ තම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීමට උපකාර කරන ලෙසයි. ඒ සඳහා රුපියල් දස ලක්ෂයක මුදලක් ලබා දී ඇති බවද සඳහන් වේ. එම මුදල ලබා ගත් උපකාරක පන්ති ගුරුවරයා උසස් පෙළ විභාගයට පෙනී සිටි එම පුත්‍රයාට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීමට උපකාර කිරීමට එකඟ වී ඇත. 

ඒ අනුව පිළිතුරු ලබා ගැනීම සඳහා වෛද්‍යවරයාගේ පුත්‍රයා විභාගය ලියන අතරතුරේ ජංගම දුරකථනයක් මාර්ගයෙන් අදාළ ප්‍රශ්න උපකාරක පංති ගුරුවරයාගේ ජංගම දුරකථනයට යවා ඇත. උපකාරක පන්ති ගුරුවරයා කර ඇත්තේ එම ශිෂ්‍යයාට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී පසුව එම ප්‍රශ්න තුන පත්‍රිකාවක මුද්‍රණය කිරීමයි. පසුව සුළු වෙලාවක් ඇතුළත ගම්පහ නගරයේ ප්‍රධාන පාසල් හා උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල එම මුද්‍රණය කළ පත්‍රිකාව බෙදා හැර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

වෛද්‍යවරයාගෙන් උපකාරක පංති ගුරුවරයා ලබා ගත් බවට සැක කරන රුපියල් දස ලක්ෂයක මුදලින් රුපියල් නව ලක්ෂ අනූ දහසක් එම ගුරුවරයාගේ කඳානේ නිවසේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇති බව සඳහන් වේ. මෙම සිද්ධිය සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාගේ සොහොයුරාගෙන් සහ පියාගෙන් ප්‍රශ්න කිරීමේදී මේවා හෙළි වී ඇති බවද වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධ උපකාරක පංති ගුරුවරයා තවම අත්අඩංගුවට ගෙන නොමැති අතර ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බවද සඳහන් වේ. ඔහු රටින් පලා යාම වැලැක්වීම සඳහා ද පොලීසිය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මෙම සිද්ධියට සම්බන්ධ බව කියන වෛද්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයා ද මේ වන විට පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බවත් වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුවල සත්‍යතාව නිවැරදිව සනාථ කර ගත හැකි වන බවත් එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad