“නව ව්‍යවස්ථාවක් හදන්න කළින් මහා සංඝරත්නයට දන්වනවා“ - ජනපති පොරොන්දු වෙයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය සමග ඊයේ (06) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සඳහන් කළේය.

රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. මෙම සාකච්ඡාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නා හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන් ප‍්‍රමුඛ අනු නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ.

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද මීට සහභාගී වූහ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment