රාජ්‍ය ඇමතිවරයකුගෙන් තැපැල් වෘත්තීය සමිති නායකයින්ට තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

රාජ්‍ය ඇමතිවරයකුගෙන් තැපැල් වෘත්තීය සමිති නායකයින්ට තර්ජන

තැපැල් කාර්යාල විකිණීමට විරෝධය පළකරමින් රටපුරා තැපැල් සේවකයන් ඊයේ (13 දා) ආරම්භ කළ වැඩවර්ජනයෙන් සියලුම තැපැල් කටයුතු ඇනහිටි බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි.

මෙම වර්ජනය අද (14 දා) දිනයේ ක්‍රියාත්මක වන බවත් ඊට රජයෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණොත් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ කරා යොමුවන බවත් තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා  පැවසීය. මේ වන විට නුවරඑළිය, මහනුවර, ගාල්ල කොටුව තැපැල් කාර්යාල විකුණා දැමීමට රජය පියවර ගෙන තිබෙන බවත් එම ක්‍රියාමර්ගය පරාජය කිරීම සඳහා ඉදිරියේදී වෘත්තීය සමිති ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන පීඩාකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් වගකීම රජය භාරගත යුතු බව හෙතෙම කීය.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ආරම්භ කර ඇති පැය 48 ක තැපැල් වර්ජනය වහාම නතර කරන ලෙස ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකු තැපැල් වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කර ඇතැයි තැපැල් වෘත්තීය සමිති නායකයෝ කීපදෙනෙක්‌ම පැවසූහ. වර්ජනය කිරීමෙන් ආණ්‌ඩුවේ තීරණ වෙනස්‌ කළ නොහැකි බවත් රජය මහනුවර, නුවරඑළිය සහ ගාල්ල කොටුව පිහිටි තැපැල් කාර්යාල රජයට පවරා ගත්තේ තැපෑල ඇතුළුව මුළු රටම සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා බාධා නොකරන ලෙසත් වෘත්තීය සමිති නායකයන්ට දැනුම් දී තිබේ.

වෘත්තීය සමිති නායකයන් ඇමැතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත. වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කිරීමට ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට අයිතියක්‌ නැති බවත් තර්ජනය කර වෘත්තීය සමිති මර්දනය කිරීමට තැත් කළහොත් පැය 48 වර්ජනය අඛණ්‌ඩ වර්ජනයක්‌ බවට පරිවර්තනය කරන බවත් වෘත්තීය සමිති නායකයෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad