බණ්ඩාරවෙල ගිලා බැසීමේ අවදානමක: උමා ඔයේ විශාල ජල කාන්දුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

බණ්ඩාරවෙල ගිලා බැසීමේ අවදානමක: උමා ඔයේ විශාල ජල කාන්දුවක්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගයේ සිදුවන මහා පරිමාණ ජල කාන්දුවක් නිසා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි ඉරිතලා ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.

මෙම උමං මාර්ගයේ ඇල්ල- කරදගොල්ල ප්‍රදේශයේදී සිදුව මෙම ජල කාන්දුව පැයකට ජල ලීටර් ලක්ෂ 36 ක් බැගින් දිනකට ජල ලීටර්  864ක් තරම් වූ විශාල ප්‍රමාණයක් බව ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා මෙම විනාශය සොයාබැලීම සඳහා කළ නිරීක්ෂණ චාරිකාවකදී ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් හෙළිකළේය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේ උමං මාර්ගය කැනීමේදී සිදුවන පරිසර හානිය නිසා ජනතාවගේ දේපළ විනාශවීම ආදායම් මාර්ග නතරවීම හා මානසික යනාදී බරපතළ ගැටලු මතුවී ඇති බවයි. වැලිමඩ -ඩයරඹා සිට කරදගොල්ල දක්වා වූ උමං මර්ගයේ තවත් කි.මී. පහමාරක් පමණ දුර කැනීම සිදුකීරීමට ඇති බවද ජල ප්‍රවාහය නිසා එම කටයුතු නතර වී ඇතැයිද අනාවරණය විය.

ජල ධාරාව පාලනය කිරිම සඳහා තවත් දින මාසයක් වත් ගත විය හැකි බව ඉංජිනේරුවෝ පෙන්වා දී ඇති අතර ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණයෙන් කියා සිටියේ වෙනත් දියුනු රටකින් හෝ තාක්ෂණික උපදෙස් ලබාගෙන කඩිනමින් මේ ජල ප්‍රවාහය නතර කිරීමට පියවර ගත යුතු බවයි. විනාශයට ලක්වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලිද ප්‍රධාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

උද්ගතව ඇති තත්ත්වය පිළිබදව ජනාදිපතිවරයා හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා දැනුවත් කර ජනතාවට ඉක්මන් සහනයක් ලබාදිමට පියවරගන්නා බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මේ වන විට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ නිවාස හා ගොඩනැගිලි 2600කට පමණ විවිධ ප්‍රමාණයේ හානි සිදුව ඇති බවත් මේ අතරින් නිවාස ගොඩනැගිලි  700කට හානි සිදුව ඇත්තේ ඉකුත් මාසයක පමණ කාලයක දී බවත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ‍ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවැසීය.

බණ්ඩාරවෙල ලිං 2400 ,සහ දිය උල්පත් ඇල දිය දොලද සිඳි ගොස් ජනතාව උග්‍ර ජල හිගයකට මූණ පා ඇති අතර වගා බිම් සියල්ල පුරන් වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad