‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න

දේශපාලන හෝ සමාජීය විරෝධතා මගින් රටම දුක් විඳින ප‍්‍රධානතම ගැටළුවක් වූ කසළ ගැටලූව විසඳීමට අති ප‍්‍රශස්ථම වැඩපිළිවෙලක් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇත. ඒ අනුව පුත්තලම ආරුවක්කාලූ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත මෙම දැවැන්ත ව්‍යාපෘතිය මෙරට කි‍්‍රයාත්මක කරන වරාය නගර ව්‍යාපෘතිය තරම්ම සුවිශල් ව්‍යාපෘතියක් වන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (26) දින අමාත්‍යාංශයේ පැවැති පුත්තලම අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මෙයට වසර 50 කට කලින් ඉඳන් ලංකා සිමෙන්ති සංස්ථාව පිහිටුවා තිබෙන කාලේ ඉඳන් එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල ඉඳන් විශාල ලෙස හිරිගල් කඩලා සිමෙන්ති සංස්ථාවට ඒ හිරිගල් ප‍්‍රවාහණය කරනු ලැබන ව්‍යාපෘතියක් පුත්තලමේ කි‍්‍රයාත්මකයි. එහි ප‍්‍රධාන වලවල් තුන හතරක් තිබෙනවා. 

ඒ වගේම අලූතෙනුත් වලක් හදාගෙන යනවා. සමහර වලවල් වහලා කැලෑවට ගිහින් තිබෙනවා. සමහර විශාල වලවල් තවම තිබෙනවා. වර්ෂයකට හිරිගල් ටොන් ලක්‍ෂ 14 ක් පමණ එළියට ගන්නවා. එතකොට ඒ ලක්‍ෂ 14 ක ඉඩ ඉතුරු වෙනවා. අපේ රටේ මුළු අවුරුද්දම ගත්තහම මිලියනයකට අඩු ටොන් ගාණක් කසල නිපදවෙන්නේ. ඒ කියන්නේ හිරිගල් හාරණ තැන මුළු රටේම කුණු දැම්මත් කිසි ගැටළුවක් නැහැ. මොකද ඒ වලවල් වහන්නේ වෙන පැතිවලින් පස් ගෙනැල්ලා. ඇත්තටම මෙය හොඳ කර්මාන්තයක්. 

හිරිගල් හාරනවා කසළ දමනවා ඒවා උඩින් පස් දාල වහලා කැලේ වවනවා. මොකද එම ප‍්‍රදේශයේ ආයේ ජනාවාස ඇති කරන්න බැහැ. මොකද එය විල්පත්තුවට ආසන්නයේ තිබෙන කැලෑ ප‍්‍රදේශයක්. එය තමයි හොඳම ආකාරයේ විසඳුම මේ රටේ තිබෙන. මේ සඳහා පසුගිය රජයෙන් ලෝක බැංකුවත් සමග සාකච්ඡා කර විසඳුමක් යෝජනා කළා 2014 දී බිලියන 15 ක් පමණ වටිනා, ඩොලර් මිලියන 125 ක් පමණ වටිනා යෝජනාවක්. එය තමයි මීතොටමුල්ලේ තිබෙන කුණු දුම්රිය මාර්ගයෙන් පුත්තලමේ මෝදර ගං ආරු ප‍්‍රදේශයට රැගෙන යන්න. 

මෙය මේ එකපාරටම කුණු ගෙනිහින් දාන ව්‍යාපෘතියක් නෙමෙයි. විද්‍යාත්මක කසළ රඳවනයක්. එය හොඳ යෝජනාවක් එම යෝජනාව ගෙනල්ල, එයට මුදල් අනුමත කරලා 2014 දී වැඩ පටන් ගත්තා. 2015 අලූත් ආණ්ඩුව ආවයි කියල එම ව්‍යාපෘතිය නැවැත්තුවේ නැහැ එම ප‍්‍රදේශයේ ව්‍යාපෘතිය කරගෙන ගියා. එතකොට ඒ ව්‍යාපෘතිය කරගෙන ගියේ, පරිසර අධ්‍යනයක් කරගෙන ගියා, අමතරව ඉංජිනේරුමය සැලසුමක් ඇතුළු සංයුක්ත කි‍්‍රයාවලියක් ගඟේවාඩිය ප‍්‍රදේශයේ කරගෙන ගියා.

පසුව අපි එම අදාල පාරිසරික නිලධාරීන්, වනජීවි නිලධාරීන්, මේ රටේ විද්වත් පාරිසරික නියෝජිතයින් එම සියළු දෙනා සමගම ගිහින් අපි වෙනත් ව්‍යාපෘතියක් යෝජනා කළා ඒ ප‍්‍රදේශයේම හිරිගල් කඩන්න ගන්න තවත් ස්ථානයක් අරුවක්කාලූ ප‍්‍රදේශයේ. ඒ සඳහා ඉංජිනේරුමය සැලසුම අවසන් කර තිබෙනවා. පාරිසරික අධ්‍යනයේ සියළු දේ ඉටුකර භාර දී තිබෙන අතර අප බලාපොරොත්තුවනවා ලබන වසර අගදී එය අපට ලැබෙයි කියා. එසේම කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා අපේ අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය කිරීම සඳහා අප සූදානම් බව. 

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයේ අලූත් ව්‍යාපෘතියක් අප පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙය කොරියානු තාක්ෂණයෙන් අපට ලබාදුන් ඉංජිනේරුමය සැලසුමක්. ජනාධිපතිතුමා අපට මුදල් ලබාදී තිබෙනවා මේ සඳහා. ඒ වගේම ලෝක බැංකු ව්‍යාපෘතියේ විශේෂඥවරු මෙය නිරීක්‍ෂණය කළා. ඔවුන් විසින් ලංකාවට ගැලපෙන මෙම ව්‍යාපෘතිය සිදුකළ යුතුයි, අපේ ඉංජිනේරුවරුන්, අපේ කෝන්ත‍්‍රාත් කරුවන් සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා පළමු වතාවට ඔවුන් මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා. 

වෙනදා ඔවුන්ගේ රෙගුලාසි, නියමයන්, තාක්ෂණයන් පසෙකට දාලා අපට උදව් කිරීම සඳහා පැමිණ තිබෙනවා. ඔවුන්ගේ අධික්‍ෂණ මණ්ඩලයක් යටතේ තමයි අපි ටෙන්ඩර් කැඳවන්න බලාපොරොත්තු වෙන්නේ.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad