"මේ ලැජ්ජා නැති වැඩේ දැන්වත් නවත්වන්න" - කැෆේ සංවිධානය ස්වදේශ ලේකම්ට කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

"මේ ලැජ්ජා නැති වැඩේ දැන්වත් නවත්වන්න" - කැෆේ සංවිධානය ස්වදේශ ලේකම්ට කියයි

‍රුපියල් ලක්ෂ 28 ක් වියදම් කරමින් “ස්වදේශ සේවා“ යනුවෙන් ටීෂර්ට් සහ බෑග් මුද්‍රණය කර ගංවතුර සහනාධාර බොදැහැරීමේ නිලධාරින්ට ඇන්දවීම වහාම නවත්වන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් නීල් ද අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙම ඉල්ලීම කර තිබේ. දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දී ඇති භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ නාමය සහිත බෑග්වල බහා, අමාත්‍යාංශයේ පණිවුඩයක් සහිතව, ‘ස්වදේශ කටයුතු‘ ටී ෂර්ට් ඇදගත් රාජ්‍ය සේවකයින් විසින් අවතැන් වූ පිරිස් වෙත බෙදා බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවක් බව එම ගිපියේ දැක්වෙයි. මේ අවමන් සහගත ක්‍රියාව ඊයේ දිනයේ ද ගංවතුරින් හානියට පත් ප්‍රදේශ කිහිපයක දී සිදුව ඇති බව මෙම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

අදාල ලිපිය පහතින් දැක්වෙයි...

2017 ජුනි 06 වනදා
නීල් ද අල්විස් මහතා,
ලේකම්,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
කොළඹ 7.


ගරු ලේකම්තුමනි,

ග්‍රාම නිලධාරිවරුන් විසින් එක් රැස් කළ පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ ‘ස්වදේශ කටයුතු බෑග් / ටී ෂර්ට්, අමාත්‍යාංශයේ සන්නාමය සමග බෙදා හැරීම.


දිවයින පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දී ඇති භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ නාමය සහිත බෑග්වල බහා, අමාත්‍යාංශයේ පණිවුඩයක් සහිතව, ‘ස්වදේශ කටයුතු‘ ටී ෂර්ට් ඇදගත් රාජ්‍ය සේවකයින් විසින් අවතැන් වූ පිරිස් වෙත බෙදා බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවකි. මේ අවමන් සහගත ක්‍රියාව ඊයේ දිනයේ ද ගංවතුරින් හානියට පත් ප්‍රදේශ කිහිපයක දී සිදුව ඇත.

රුපියල් ලක්ෂ 24 ක් පමණ වැය කොට ටී ෂර්ට් මුද්‍ර‍ණය කොට තවත් රුපියල් ලක්ෂ 4 කට වැඩි මුදලකින් ‘ස්වදේශ කටයුතු‘ අමාත්‍යාංශය ප්‍ර‍වර්ධනය කර ගැනීම රටේ ජාතියේ අවාසනාවකි. මැතිවරණ සමයේ ජනතා බදු මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදීමටත් වඩා ජනතාව සිය කැමැත්තෙන් ලබා දෙන භාණ්ඩ, තමන්ගේ යැයි හැගෙන පරිදි පත්‍රිකා අච්චු ගසමින් බෙදා හැරීම ලැජ්ජා සගහත ක්‍රියාවකි. අවමන් සහගත ව්‍යවහාරයකි. රාජ්‍ය සේවය අපකීර්තියට පත් කිරීමකි. 

ජනතා සේවයට කැපවූ පරිපාලන සේවයේ ගෞරවය බිද දැමීමකි. අනුන්ගේ මුදලින් තමන් ප්‍ර‍වර්ධනය කිරීම වැලැක්වීම සදහා වත්මන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අද ඉහළ තනතුරු දරන දේශපලනඥයින් බහුතරයකුත් 2015 ජනවාරි 8 දා ජනවරමක් ලබාගත්තේය. අවසනාව නම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ ජනවරමට පිටුපා පසුගිය රජය යටතේ මැතිවරණ සමයේ දී සිදු කළ ආකාරයටත් වඩා ලැජ්ජා සහගත, අවමන් සහගත, පිළිකුල් සහගත ක්‍රියාවක රාජ්‍ය සේවකයින් දිගින් දිගටම යෙදවීමයි. 

ඒ සදහා රුපියල් ලක්ෂ 28කට වැඩි මුදලක් වැය කිරීමයි. රාජ්‍ය සේවකයින් විපතට පත්වූවන් වෙනුවෙන් භාණ්ඩ රැස්කළේ, ඒවා බෙදා දෙන්නට ගියේ තමන්ගේ නිවසේ තිබූ දේ ද රැගෙනය. බොහෝ දෙනා ආපසු නිවෙස් බලා ආවේ, තමන් ඇදි වත හැර සියල්ල විපතට පත්වූවන්ට ලබා දීමෙන් පසුවය. “රාජ්‍ය සේවයේ වදකාගාරය “ලෙස ඔබගේ අමාත්‍යාංශය රාජ්‍ය සේවකයින් විසින්ම හදුන්වාදෙන බව ඔබ නොදන්නවා විය නොහැකිය. 

ගංවතුරෙන් විපතට පත්වූ පිරිස් පමණක් නොව සහන සේවා සදහා එක් වූ පිරිස් ද ඔබ අමාත්‍යාංශයේ මේ නාස්තිකාරී, අශිලාචාර කටයුත්ත පිළිබද එළිපිටම විරෝධය පළ කළේය. මේ රටේ බහුතර ජනතාව පිළිකුල් සහගත ලෙස ප්‍ර‍තිකේෂප කළ අනුන්ගේ මුදලින් තමන්ට ලකුණු දමා ගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය ද, ජනතා බදු මුදලින් පුද්ගල ප්‍ර‍වර්ධනය වෙනුවෙන් ඔබ වැනි ජ්‍යෙෂ්ඨ වගකිවයුතු නිලධාරියෙකු කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයකි. 

මෙම ලැජ්ජා සහගත ව්‍යවහාරය තවදුරටත් සිදු වන්නේ එය පරාජය කිරීම සදහා මෙරට සියළු පුරවැසියන් පෙළ ගැස්වීමට අප කිසිලෙසකින් හෝ පසුබට නොවන බව ද අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 ජූනි 6

පිටපත් - ජනාධිපති ලේකම්තුමා අග්‍රාමාත්‍ය ලේකම්තුමා
ලේකම්, ස්වදේශ කටයුතු අමාත්‍යංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරු
සියලුම ප්‍රාදේශිය ලේකම්වරු සියලුම ජනමාධ්‍ය


No comments:

Post a Comment

Post Bottom Ad