ලක්ෂාන් ඩයස්ට සමාව ගන්න පැය 24ක් - නැත්නම් නීතිඥ වෘත්තියෙන් නෙරපයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ලක්ෂාන් ඩයස්ට සමාව ගන්න පැය 24ක් - නැත්නම් නීතිඥ වෘත්තියෙන් නෙරපයි

නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ක්‍රිස්තියානි ආගමික ස්ථාන 166ට හාමුදුරුවරුන් විසින් පහරදී ඇති බවට දෙරණ රූපවාහිණි නාලිකාවේ ‘අලුත් පාර්ලිමේන්තුව‘ වැඩසටහනට එක්වෙමින් නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් ප්‍රකාශ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් තමන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටි බවත්, එහිදී එවන් ප්‍රහාරයක් සිදුනොවූ බවට අගරදගුරු හිමියන් අවධාරණය කළ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

ඒ අනුව එවන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
පුරවැසියන් ලෙස එකට එකතුවී කටයුතු කළ යුතුව ඇති බවත්, සියලුම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමට ක්‍රියා කළ යුතුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (17) අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාතීන් අතර අසමගිය වර්ධනය වන අන්දමේ හා වෛරය ඇතිකිරීමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූවේ එකිනෙකාට පහරදීමට හෝ පහත් කර සැලකීමට ආගම අතකොළුවක් කර නොගන්නා ලෙස හා  එවැනි දෙයක් කළොත් එය රටට කරන ලොකු ද්‍රෝහි කමක් බවයි.

තමන් කොළඹ අගරදගුරු පදවිය දරමින්  අනෙකුත් අගරදගුරු තුමන්ලා සමග නිතරම සමීපව ගනුදෙනු කරන බවත්, ඔය තරම් දුරට දේවස්ථාන පල්ලි වලට හානි සිදුවුණා යයි  තමන් නොදන්නා බවත් අගරදගුරු හිමියන් පෙන්වා දුන්නේය. එලෙස පහරදීම් සිදුවූ බවට වන  සංඛ්‍යා ලේඛන කොහෙන් පැමිණියේදැයි තමන් නොදන්නා බවත්, ඇතැම් විට මූලධර්වාදී කිතුණු කණ්ඩායම් දේවස්ථාන හදන්නට ගොස් හෝ තම සාමාජිකයින් නැති තැන්වල සාමාජිකයින් ඇති කරගන්නට ගොස් එවැනි ගැහැට ඇතිවූවාදැයි නොදන්නා බවත් කාදිනල් හිමියන් අවධාරණය කළේය.
නමුත් කතෝලික සභාවට අදාළව නම් පසුගිය කාලයේ එවැනි පහරදීම් හෝ ආගම ඇදහීමට බාධාවූ බවක් කියන්නට අමාරු බවත්, තමන් බාරව සිටින බස්නාහිර සභාවේ නම් එවැනි කතෝලික දේවස්ථාන හෝ සිද්ධස්ථානවලට අදාළව  එවැන්නක් වාර්තා වී නැති බවත් හිමිපාණන් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad