මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපයි? වෙල්ගම, ප්‍රසන්න, විදුර, මහින්දානන්දත් එළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 30, 2017

මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපයි? වෙල්ගම, ප්‍රසන්න, විදුර, මහින්දානන්දත් එළියට

මහින්ද ශ්‍රීලනිපයෙන් නෙරපයි? වෙල්ගම, ප්‍රසන්න, විදුර, මහින්දානන්දත් එළියට
මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 
මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බවත් තාවකාලිකව පක්‌ෂය තහනම් කර විනය පරීක්‌ෂණයක්‌ පවත්වා පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට සහභාගි වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදී යම් මන්ත්‍රීවරයෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද මහ ලේකම්වරයා පැවැසීය.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ විධුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ තනතුරු සම්බන්ධවද එහිදී තීරණයක්‌ ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරන මැයි රැලියට සහභාගි නොවී වෙනත් පක්‌ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ සංවිධානය කරන මැයි දින රැලියකට මහින්ද රාජපක්‌ෂ මහතා හෝ මන්ත්‍රීවරයෙක්‌ සහභාගි වන්නෙ නම් මෙවර ඒ කිසිවකුටත් සමාව නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

(දිවයින)

No comments:

Post a Comment

Post Bottom Ad