ඝාතනය වූයේ පිඩලි තුෂාරයි - සමයංගේ එදිරිවාදියෙක්-ටී.56 උණ්ඩ 18යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

ඝාතනය වූයේ පිඩලි තුෂාරයි - සමයංගේ එදිරිවාදියෙක්-ටී.56 උණ්ඩ 18යි

කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

නුගේගොඩ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන සිදුවන බව පොලීසිය පවසයි. අද පෙරවරුවේ කඩුවෙල කොතලාවල හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව 42 හැවිරිදි රුවන් තුෂාර හෙවත් පිඩලි තුෂාර නැමැති පහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බවත්, ඔහු  මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවත් පොලිසිය පවසයි. එසේම මීට වසරකට පමණ පෙර මේ පුද්ගලයාට කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයේදී ද කිසියම් පිරිසක් වෙඩි තබා ඇති මුත්  ඔහු එයින් දිවි ගලවාගෙන තිබුණි.

එමෙන්ම මෙම පිඩලි තුෂාර නැමැත්තා පසුගියදා ඝාතනයට ලක්වූ සමයං නැමැති පාතාල අපරාධකරුගේ   විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයකු බවද වාර්තා වේ. මේ අතර වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ අනෙක් පුද්ගලයා 49 හැවිරිදි කොතලාවලගේ පියවංශ සෝමගුප්ත නැමැති පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයෙකු වන අතර
මොහු සිය නිවසට අවශ්‍ය තීන්ත මිලදී ගැනීම සදහා  ප්‍රධාන මාර්ගයට පැමිණ ඇතැයි සඳහන්ය.

වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී  ටී 56 උණ්ඩ 18කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර  මෙම වෙඩි තැබීමෙන් අසළ තිබූ ත්‍රි රෝද රථයක සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබේ. කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමපාල ඒකනායක මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන්  මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකරන ලදී.



No comments:

Post a Comment

Post Bottom Ad