ජනපති මහ බැංකුවට යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 1, 2017

ජනපති මහ බැංකුවට යයි (PHOTOS)

ජනපති මහ බැංකුවට යයි (PHOTOS)

ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපේ රටට ද කුමන ආකාරයේ ආර්ථික අභියෝගවලට මුහුණදීමට සිදුවුවද දිළිඳු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය ප‍්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (28) කොළඹ මහබැංකු ශ‍්‍රවණාගාරයේ පැවති තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුවේ සමාරම්භක සැසිය අමතමිනි.

අපේ රටේ සියයට 30 ක පමණ ජනතාවක් බරපතළ ආර්ථික අපහසුතාවයන්ට මුහුණදී සිටින අතර ඔවුන් වෙනුවෙන් 2017 වසර දුගී බව තුරන් කිරීමේ වසර ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මූල්‍ය ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බව කියා සිටියේය.

ආර්ථික ගැටලු ජය ගැනීමේදී පරිසර සංරක්ෂණය ද ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තිරසර සංවර්ධන ප‍්‍රතිපත්ති කළමනාකරණය පිළිබඳ සෑම ක්ෂේත‍්‍රයකම විද්වතුන්ගේ සහ ප‍්‍රවීණයින්ගේ මගපෙන්වීම අත්‍යාවශ්‍ය බව ද කියා සිටියේය.

පරිසර ඇගයීම සමග භෞතික සම්පත් සංවර්ධනය මුල්කරගත් ඉදිරි සංවර්ධන කාර්යයන්හි මූල්‍ය ප‍්‍රතිපත්ති හා කළමනාකරණය ඉතා සාර්ථක මගක ගමන් කළයුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන, පරිසර අමාත්‍යාංශය හා පරිසර සංරක්ෂණයට අදාළ අනෙකුත් ආයතන සමග ඒකාබද්ධ වූ ජාතික වැඩසටහනක් කි‍්‍රයාත්මකවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

ශී‍්‍ර ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ තිරසර බැංකු ජාලය සමග ඒකාබද්ධව මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙන අතර මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයින් සහ දෙස් විදෙස් මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් සහ විද්වතුන් පිරිසක් මෙම සමාරම්භක සැසියට එක්ව සිටියහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad