පේරාදෙණිය නවකවධ වදකාගාරයේ සැඟවුණු තිත්ත ඇත්ත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

පේරාදෙණිය නවකවධ වදකාගාරයේ සැඟවුණු තිත්ත ඇත්ත

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීමක් ගැන පසුගියදා රටේ ලොකු කතාබහක් ඇතිවුණා. නිවසක් කුලියට ගෙන සැලසුම් ශිල්පීන් ලෙස පෙනී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ දෙවන වසර සිසුන් 15 දෙනෙකු එම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගැණුනා. ඒ පිළිබඳව දිනපතා පුවත්පතක පළවූ ලිපියක් පහතින් දැක්වෙනවා.


හිඟන්නාගේ තුවාලය මෙන් සුව නොවන ගඳ ගසන, වනයක්‌ තරමටම අපුල දෙයකි විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය. මෙම වසරේ ගතවූ මාස දෙක ඇතුළත පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූ නවකවධ සිද්ධීන් තුනක්‌ හේතුවෙන් අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබිණි. ඒ අතරින් ප්‍රබලතම සිද්ධිය වූයේ, ඉකුත් 19 වැනි දින අනාවරණය වූ කුලියට ගත් නිවසක පවත්වාගෙන ගිය නවකවධය ලබා දෙමින් වධකාගාරයක ස්‌වරූපයෙන් පවත්වාගෙන ගිය බව කියන සිදුවීමය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ සිසුන් පහළොස්‌දෙනකු විසින් එම පීඨයට කුළුඳුලේ පැමිණි නවක සිසුන් අටදෙනකු සඳහා නවක වධය දෙමින් සිටියදී විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතා ගේ අතටම අල්ලා ගත හැකි වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ දත්ත සහිත සාක්‌ෂි මේ වන විට අධිකරණය වෙත ලබා දී තිබේ. එබැවින්ම මෙය ගොතන ලද්දක්‌ හෝ වෙනයම් කල්පිතයක්‌ හෝ මවා පා කී මුසාවක්‌ නොවන්නේය.

අපි ගන්නෝරුවේ වැඩකරන්නේ සැලසුම් ශිල්පීන් වශයෙන්. මේ ළඟින් නවතින්න තියෙනවා නම් හරිම පහසුයි. යන්නෙන් පැවසූ සිසුන් තිදෙනෙක්‌ ඔවුන් රැකියා නියුක්‌තිකයන් බවට මවාපෑමක්‌ කර ඇත. ඒ අනුව මුලින් රුපියල් දසදහසක මාසික කුලියක්‌ කථිකා කොට ගනිමින් මාස තුනක කුලිය වන තිස්‌දහසක මුදලක්‌ ගෙහිමියාට දී නිවස කුලියට ගැනීමට කටයුතු කර ඇත. මෙම සිසුන් තිදෙනා සමඟ තවත් සිසුන් කිහිප දෙනකු නිවසේ පදිංචියට පැමිණ ඇති අතර වරින් වර මෙම නිවසට සිසුන් වැඩි පිරිසක්‌ ආ ගිය බව ගම්මු දනිති.

මේ සම්බන්ධයෙන් විවිධ අවස්‌ථාවල සැක පහළ වුණු ගම්මු සිසුන්ගේ ක්‍රියාකාරකම්වල අකටයුතුකම් සිදුව ඇත්ද යන්න සොයා බලන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත ලිතව සහ වාචිකව පැමිණිලි කර තිබිණි. මෙම පැමිණිලි ඉවත නොදැමූ විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සහ විශ්වවිද්‍යාලයේ විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක මහතා සාක්‌ෂි සහිතව සිද්ධිය සිය දෑසට හසුකර ගන්නා තෙක්‌ ඉවසූහ. ඒ අවස්‌ථාව උදාවූයේ ඉකුත් 19 දින මධ්‍යම රාත්‍රිය එලැඹීමට ඔන්න මෙන්න තිබියදීය.

කෘෂි පීඨයේ දෙවැනි වසර සිසුන් එදින ඉරිදා දිනයක්‌ බැවින්, සිය ජංගම දුරකථන ඔස්‌සේ, නවක සිසුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇත. ඒ අනුව පළමුව මහනුවර දළදා මාලිගය අසලටත් දෙවනුව ගුඩ්ෂෙඩ් බස්‌ නැවතුම්පළටත් තෙවනුව ගලහා වටරවුම අසලටත් පැමිණෙන ලෙස දන්වා ඇත. නවක සිසුන් අටදෙනා ගලහ වටරවුමට පැමිණි බව දැනුම් දුන් පසු දෙවන වසර සිසුන් කිහිපදෙනෙක්‌ මුහුණු ආවරණය කර යතුරුපැදිවලින් පැමිණ, වරින් වර නවක සිසුන් අදාළ නිවස වෙත රැගෙන ගොස්‌ ඇත. මෙම සිදුවීම මෙසේ සිදුවන්නේය යන්න හෝ කලක්‌ තිස්‌සේ තොරතුරු සොයමින් සිටි විශ්වවිද්‍යාල විනය පාලක ආචාර්යවරයා තවදුරටත් විමසිලිමත්ව සිටිමින් කෘෂිකර්ම පීඨයේ, පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතාද ආරක්‌ෂක අංශ නිලධාරීන්ද කැටුව අදාළ නිවස වෙත ගොස්‌ ඇත. එහි යන විට නවක වධයට ලක්‌ කරමින් සිසුන්ට විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන ලෙස අණකරමින් සිටි දෙවන වසරේ සිසුන් දැකගත හැකි වූ බව ආචාර්යවරුන් පැවසූහ. මෙම සිදුවීම වීඩියෝ ගත කර අවසානයේ නිවස තුළට ගොස්‌ සියලුම සිසුහු සිය භාරයට ගැනීමෙන් පසුව පේරාදෙණිය පොලිසියට දැනුම් දී ඇත.

මේ දරුවන්ව විශ්වවිද්‍යාලය තුළදී අපි හැඩගස්‌වන්නේ සමාජයේ බුද්ධිමතුන් කරන්න. නමුත් විනාශයක හා අපරාධයක තරම කියන්නේ දරුවො විශ්වවිද්‍යාලයට එන පළමු වසරේ නවකවධයට ලක්‌වෙමින් පීඩා විඳිනවා. නිදි වරනවා. පන්තියේ දේශන පවත්වද්දී ඇතැම් ළමයි නිදි. ඊළඟට දෙවැනි වසරෙදි නවකවධය දෙන්න කාලය වැය කරනවා. මේක මොන තරම් අපරාධයක්‌ද කියලා ළමයි තේරුම් ගන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ මූලික පදනම දරුවකුගේ මනසට බුද්ධියට වැටෙන්නේ පළමු අවුරුදු දෙකේදි. ඒ කාලයේ නිරපරාදේ මේ වගේ අපරාධවලට මැදිහත් වුණාම මුළු ජීවිත කාලයම විනාශ වෙනවා. රටට බුද්ධිමතුන් හිඟ වෙන්නේ මෙන්න මේ නිසායි. මෙම සිදුවීම සාමාන්‍ය සිදුවීමක්‌ නෙවෙයි. අතිශය බැරෑරුම් සිද්ධියක්‌. නීතිය අනුව දඬුවම බරපතළ වන තරමට සෙසු සිසුන්ට ආදර්ශයක්‌ වනු ඇති යෑයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය ගාමිණී හිටිනායක මහතා කියා සිටියේය.

සිද්ධියට අදාළ බවට සැකකරන සිසුන් පහළොස්‌ දෙනා එදින රාත්‍රියේම අත්අඩංගුවට ගත් පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කමල් ආරියවංශ මහතා පෙරේදා (20 දා) දහවල් 12.00 ට පමණ සිසුන් මහනුවර මහේස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනයන්හි නවකවධ පනතට අදාළව 2, 2-2 , 3, සහ 6 වගන්ති ප්‍රකාරව චෝදනා ගොනු කොට ඇති බව අධිකරණය හමුවේ සවිස්‌තරව කරුණු දක්‌වමින් කී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සිසුන් මෙම නවක වධය ලබා දී ඇත්තේ සිසුන් නිරුවත් කොට විවිධ ලිංගික හෝමෝන උත්තේජනය වන අන්දමේ ක්‍රියාකාරකම්වල යොදවමින් බවට කරුණු අනාවරණය වී ඇති බවද කීය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණීකරණයක්‌ කරන ලෙස ඉල්ලා නොසිටින බවත් හැකියාවක්‌ ඇත්නම් ඇප ලබා දීමට සලකා බලන ලෙසත් කීය. එහිදී වැඩබලන මහෙස්‌ත්‍රාත් හා අතිරේක මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය කරුණු සලකා බලා මෙම අධිකරණයේදී ඇප සලකා බැලිය නොහැකි බව පවසමින් මාර්තු දෙවැනි දින තෙක්‌ සැකකාර දෙවන වසරේ සිසුන් රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

නවකවධයට ලක්‌වූ බව කියන සිසුන් අටදෙනා පෙරේදා (20 දා) පෙරවරු 7 ට පමණ පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ පළවැනි වාට්‌ටුව වෙත ඇතුළත් කොට නේවාසික ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්‌ෂණ වෙත බඳුන්කොට තිබිණි. මෙම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැනට හොඳ තත්ත්වයක ඇති නිසාත් ඉදිරියේදී යම් හෙයකින් මානසික ආතතියකට ලක්‌ වුවහොත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දීමට කටයුතු යොදන බවත් පැවසූ රෝහල් අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා සිසුන් ඊයේ පෙරවරුවේ රෝහලින් පිටත් කර යෑවූ බවද කීය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාලය තුළ සුළි සුළඟකට හසුව ගස්‌ කොළන් සීසීකඩ විසිර ගිය සෙයකින් විවිධ කට කතා තොරතුරු ප්‍රබල ලෙස පැතිර යමින් ඇත්තේය. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ ඇතුළු සියලු පීඨ නියෝජනය කරන සංගමයේ සාමාජිකයෝ මෙම සිදුවීම තරයේ හෙලා දකින බවට ප්‍රකාශ නිකුත් කළහ. අපි මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියානම් මෙවැන්නක්‌ සිදුවීමට ඉඩ තබන්නේ නැහැ. මේ සිසුන් කර ඇති ක්‍රියාව කිසිසේත් අනුමත කළ හැක්‌කක්‌ නොවේ. අපි නිතරම මහා ශිෂ්‍ය සංගමය හරහා බලන්නේ අනාගත විශ්ව විද්‍යාල නවකයින්ගේ පහසුකම් අධ්‍යාපන ක්‍රමවේද කප්පාදු නොකොට පුළුල් කිරීම. මේ වගේ නින්දිත වැඩ අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. යෑයි මංගල මද්දුමගේ සිසුවා කියා සිටියේය.

උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් සියලු පරීක්‌ෂණ පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු විධිවිධාන සඳහා මග පාදා දී තිබේ. ඒ අනුව විශ්වවිද්‍යාලය මට්‌ටමෙන් සහ පොලිසිය අධිකරණය මට්‌ටමෙන් විධිමත් පරීක්‌ෂණ සිදුකරන බවත් ඒ පරීක්‌ෂණ ඔස්‌සේ, අවසන් තීරණයකට එළැඹෙන බවත් කියා සිටියේ මෙසේය.

දරුවො විශ්වවිද්‍යාලයකට එවන්න දෙමව්පියෝ මොනතරම් මහන්සි ගන්නවාද? පාසල් පද්ධතියේදී ගුරුවරු ළමයින්ව යහගුණ චර්යා එක්‌ක හදන්න ඕනෑ. එහෙම නොවන විට පාසලෙන් එළියට එන ළමයන්ට විනයක්‌ නෑ. මේ සිදුවෙලා තියෙන්නේ එවැනි ව්‍යසනයක්‌. විශ්වවිද්‍යාලය තුළදී ළමයා බුද්ධිමතෙක්‌ කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා මිසක්‌ විනය මුල ඉඳන් හදන්න කාලයක්‌ නැහැ.

මේ සිදුවීම අතිශය බරපතළයි. විශ්වවිද්‍යාල භූමියෙන් පිටත නවකවධය දෙන්න කොහෙත්ම ඉඩක්‌ නැහැ. ඒ නිසා මේ ළමයින්ගේ පන්ති තහනම් කරලා අවසානයේ ගත හැකි උපරිම දඬුවම් ලබාදීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කියන්න ඕනෑ.

මෙවැනි සිදුවීම් හේතුවෙන් රටට බුද්ධිමතුන් බිහිකරන්නට වෙරදරන විද්වත් පිරිසට සිදුව ඇත්තේ උගැන්වීම පසෙකලා දරුවන්ගේ නරුම වැඩ අල්ලමින් රහස්‌ පොලිසියේ රාජකාරිය සිදු කිරීමටය. එය රටක්‌ ඉදිරියට යැමට ඉවහල් වන්නේ කෙසේද යන්න විමසා බැළීම වටී.

No comments:

Post a Comment

Post Bottom Ad