පුංචි තිරයේ පෙම්වතා වෙන්වුණා කියන කතාවේ ඈත්ත නෑත්ත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

පුංචි තිරයේ පෙම්වතා වෙන්වුණා කියන කතාවේ ඈත්ත නෑත්ත

අමිල අබේසේකර පුංචි තිරයේ ඉන්න ආදරණීය පෙම්වතෙක්. ඔහුගේ පෙම්වත් චරිතවලට වයස් භේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේමවන්තයාගේ චරිතවලටම කොටු වෙලා ඉන්න අමිලගේ කලා තොරතුරු වගේම පෞද්ගලික තොරතුරු ගැන කතා කරන්න ඔහුව එකතු කරගත්තා. මේ ඒ ගැනයි.


අමිලව පුංචි තිරයේදි නිතරම දකින්නේ පෙම්වතාගේ චරිතයෙන්. අමිලව අලුත් අවුරුද්දේවත් අලුත් චරිතවලින් දකින්න ලැබෙනවද කියලම අපේ කතා බහ ආරම්භ කරමු….?

අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙනවා. ඊට අමතරව නිර්මාණය කළ ටෙලි නාට්‍ය පහක් විතර තව ටික දවසකින් විකාශය ආරම්භ කරයි. ඒ චරිත එකිනෙකට වෙනස්. ඒත් පෙම්වතාගේ චරිතයම තමයි.

පෙම්වතාගේ චරිතයෙන් මිදෙන්න කැමති නැහැ වගේ.. ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අඩුවෙයි කියලද වෙනත් චරිතවලට දායක නොවෙන්නේ..?

සොඳුරු දඩයක්කාරයා කියලා මේ දවස්වල අයි.ටී.එන්. එකේ ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. මාළු මුදලාලි කෙනෙක්ගේ චරිතයක්. ඒත් පෙම්වතාම තමයි. ඒත් වෙනස්. එහෙම පෙම්වතාගේ චරිතයෙන් ඉවත් වෙලා වෙනත් චරිත රඟපෑවාට මට ප්‍රතිචාර අඩු වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මට ගොළු චරිත, පිස්සු චරිතයක් ලැබුණොත් මම කොහොමද තාත්වික විදිහට රඟපාන්නේ. මම ඒ වගේ චරිතයකින් පෙනී ඉඳලා ඒ චරිත හරියාකාරව රඟපෑවේ නැත්තම් මට ප්‍රේක්ෂකයින් ඇත්තටම හිනා වෙයි. නොදන්න දේවල් කරන්න ගිහිං අසාර්ථක වුණා කියලා. ඒ නිසා දන්න දේ කරන එක හොඳයි කියලයි මම නම් හිතන්නේ. අනික චරිතවලට පෙරේතකමට භාර ගන්න එක තේරුමක් නැහැ.

අමිලට වෙනස් වු චරිතවලට ආරාධනා ලැබෙන්නෙත් නැද්ද..?

ආරාධනා ලැබෙන්නේ නැහැ. ආරාධනා ලැබෙන හැම චරිතයම පෙම්වතා හැටියටයි රඟපාන්න ලැබෙන්නේ.

ඔබ රඟපාන්නෙම ප්‍රධාන චරිත. අවුරුදු කීයක් පුංචි තිරයේ පෙම්වතා වෙමින් ප්‍රධාන චරිත රඟපෑවාද…?

මට වයස අවුරුදු දහනවයේදී මම රඟපෑම ආරම්භ කළේ. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් ගියාට පස්සේ 2004 අවුරුද්දේ මම ප්‍රධාන චරිතයක් රඟපෑවා. එදා ඉඳලා මේ වෙනතුරුම මම ප්‍රධාන චරිත බොහෝමයකට දායක වුණා. ඒ වගේම 2004 ඉඳලා අඛණ්ඩව මම රඟපෑවේ පෙම්වතාගේ චරිතයම තමයි. ඒකත් එක අතකට වාසනාවක්. මොකද එහෙම කාටවත් පෙම්වතාගේ චරිතම ලැබෙන්නේ නැති නිසා. කෙටියෙන්ම කිව්වොත් පෙම්වතාගේ චරිතයට තමයි ඉල්ලුමත් වැඩි.

ඔබ නිර්මාණ කිහිපයකට එකවර රංගන දායකත්වය ලබා දෙනවා.. එකදිගට රඟපාන විට රංගනයේ ප්‍රමිතියත් අඩු වෙනවා නේද..?

මම නිර්මාණ තුන හතරකට එකවර සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. සමහර නිර්මාණ විකාශය කරන්නත් කලින් වෙන නිර්මාණවලට ආරාධනා කරනවා. ඒ නිර්මාණයේ මට ලැබෙන චරිතය හොඳ නම්. මට වෙනසක් කරන්න පුළුවන් නම් මම වේලාව වෙන් කරගන්නවා. මගේ රඟපෑමේ කොලිටිය අඩුයි කියලා මම හිතන්නේ නැහැ. මට එහෙම කවුරුත් චෝදනා කරලත් නැහැ.

අමිල අබේසේකරව චිත්‍රපට නළුවෙක් විදිහට හඳුන්වනවාට අකැමැති නිසාද, රිදි තිරයට සම්බන්ධ වෙන්නේ නැත්තේ..?

නිර්මාණාත්මක චිත්‍රපටවලට මට ආරාධනා ලැබෙනවා. ගොඩක් වෙලාවට ඒවාට සම්බන්ධ වෙන්න මට වේලාවක් නැහැ. සම්බන්ධ වුණ නිර්මාණවලට කාලය වෙන් කරලා තියෙන නිසා. ඒත් මට නම් දුකක් නැහැ ඒවා මග හැරුණා කියලා. මොකද මම අද ජනප්‍රිය වෙලා තියෙන්නේ ටෙලි නාට්‍ය නළුවෙක් නිසයි. චිත්‍රපටවලට සම්බන්ධ වුණාට ඒවා විකාශය වෙද්දී පරක්කු වෙනවා. විකාශය වෙනකල් විශ්වාසයක් නැහැ. ඒ වගේම හඳුනා ගන්නේ කිහිප දෙනයි. නළුවෙක් කිව්වට ජනතාව අඳුරන්නේ නැහැ. ඒ නිසා මාව ඔය විදිහට හඳුන්වා නොදුන්නාට කමක් නැහැ.

දැන් ජනප්‍රිය කලාකරුවන් යොදාගෙන රියැලිටි වැඩසටහන් බොහෝමයක් නිර්මාණය වෙනවා. ඒවායේ නටන්න ගයන්න ආරාධනා ලැබෙන්නේ නැද්ද..?

මම ප්‍රතිපත්තියක් විදිහට කිසිම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ නැහැ. එස්.එම්.එස් තරගනේ ඕවා. මම නටන්න දන්නෙත් නැහැ. ගයන්න දන්නෙත් නැහැ. නොදන්න දේවල් කරන්න ගිහිං ලැජ්ජා වෙන්න බැහැ. ආරාධනා ලැබෙනවා. මම අකැමැතියි කියලා දැන දැනත් කැමැත්ත ලැබෙයි කියලා ආරාධනා කරන පිරිස ඉන්නවා. ඒත් කවදාවත් සම්බන්ධ වෙන්නේ නැහැ.

ව්‍යාපාරිකයෙක් විදිහට අනාගතයේදී දකින්න ලැබෙන නිසා අමිල රංගනයෙන් විශ්‍රාම යනවා කියලා ආරංචියි…?

තවම රංගනයෙන් විශ්‍රාම යන්න අදහසක් නැහැ. ඒත් මම ව්‍යාපාර කටයුතු නම් පටන් ගන්න සැලසුම් කරගෙන යනවා. බොහෝ දුරට ඒ ව්‍යාපාරය පිටරටක පටන් ගන්න ඉඩ තියෙනවා.

ඔබේ බිරිඳ කියන්නේ නැද්ද රංගනයෙන් සමු අරගෙන ඇය ඉන්න රටට එන්න කියලා..?

සමහර වෙලාවට එයා කියනවා රඟපෑවා ඇති එන්න කියලා. ඒත් එයා මාව නළුවෙක් හැටියට දිගටම දකින්න කැමැතියි. ඒ නිසා ඒ බලකිරීම හැමදාම කරන්නේ නැහැ. මට වෘත්තීයමය හැකියාව තියෙන්නේ රඟපෑමෙන් කියලා එයා අවබෝධ කරගෙන ඉන්නවා.

විවාහ වෙලා කාලයක් ගත වුණා. ඒත් දෙන්නා දෙපැත්තේ. ඒ නිසා දෙන්නා වෙන් වෙලා කියලත් කට කතා පැතිරෙනවා නේද..?

කවුරු මොනවා කිව්වත් ඒ දේවල් අපි දෙන්නාට අදාළ වෙලා නැහැ. අපිට ප්‍රශ්න නැහැ. අපි අවුරුදු ගණනක් රටවල් දෙකක ජීවත් වෙනවා කියලාවත් තේරෙන්නේ නැහැ. මොකද මම හැම මාසේම එයා ඉන්න රටට දෙතුන් වතාවක් යනවා. එයත් මාසෙකට කිහිප සැරයක් එනවා. අපිට නම් දැනෙන්නේ අපි ළඟ ඉන්නවා කියලයි. එයා තව අවුරුදු දෙකක් විතර වැඩ කරලා ලංකාවේ නතර වෙන්නම එයි.

අලුත් අවුරුද්දේ පුංචි පවුල සම්පූර්ණ කරන්න අමුත්තෙක් පවුලට එකතු වෙයිද..?

ඒකට තව කාලය තියෙනවා. අපේ පවුල සම්පූර්ණ කරන්න අපි කාලයට භාර දුන්නා.

කොහොමද තේජාගෙන් ඔබට ලැබෙන සහයෝගය..?

එයා ළඟ නොහිටියත් මට උදව් කරනවා. මම රඟපාන හැම නිර්මාණයක්ම එයා නරඹනවා. ඒවා නරඹලා ප්‍රතිචාර දක්වන්නත් අමතක කරන්නේ නැහැ.

බිරිඳ ගෙදර නැති නිසා අමිල ගෙදර වැඩ කරන්න දන්නවත් ඇති..?

තේජා නැති නිසා මගේ අම්මා මගේ ළඟ ඉන්නවා. අම්මා තමයි මගේ වැඩවලට උදව් කරන්නේ.

තේජා කියන්නේ උයන්න පිහන්න දන්න බිරිඳක්ද..?

ඔව්. එයා දෙණියාය ගමේ හැඳුන වැඩුන කෙනෙක්. එයාගේ අම්මට රසට උයන්න පුළුවන්. අම්මාගේ අත්ගුණය එයාටත් පිහිටලා තියෙනවා. එයා පිටරට ජීවත් වුණාට හොඳ ගෘහණියක්.

2017 අවුරුද්දේවත් අමිල අබේසේකරව අධ්‍යක්ෂවරයෙක් හැටියට දකින්න ලැබෙයිද කියලම අපි කතාව අවසන් කරමු..?

නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න තරම් මට පළපුරුද්දක් තවම නැහැ. අපි තවම තරුණ වයසේ ඉන්න අත්දැකීම් අහුලමින් ජීවත් වෙන අය. තව අත්දැකීම් ඕන ඒවගේ කටයුත්තක් කරන්න.

හර්ෂණී වීරරත්න

No comments:

Post a Comment

Post Bottom Ad