බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 26, 2016

බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්

බැඳුම්කර වංචාව ඔප්පු වී හමාරයි - වරදකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක්
බැඳුම්කර සිදුවීමට අදාළ පාර්ලිමේන්තු වාර්තාවේ ඉදිරි කි‍්‍රයාමාර්ග දෙස රටම බලා සිටින බවත් ආණ්ඩුව වරදකරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවට සැකයක් තිබෙන බවත් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී, කොප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද(26) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. කෝප් කමිටුව පූර්ණ පරීක්ෂණ යාන්ත‍්‍රණයක් නොවුණත් බැලූබැල්මටම මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇති බවත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනය බැඳුම්කර ගනුදෙනුවෙන් අයුතු ලාභයක් විශාල ලෙස උපයාගෙන තිබෙන බව ඔප්පු වී තිබෙන බවත් පැවසූ හඳුන්නෙත්ති මහතා ඔවුන්ගේ මූල්‍ය වාර්තා අනුවත් ඒ  බව පැහැදිලි බවද සඳහන් කළේය.

එහිදී කෝප් සභාපතිවරයා මෙසේද පැවසී ය.

“පසුගිය ඔක්තෝබර් 28 මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව හමුවේ තබනු ලැබුවා. මේ පිළිබඳව මේ වනතුරු පාර්ලිමේන්තුවේ විවාදයක් සිදුවී නැහැ. අයවැය විවාදය නිසා සාධාරණ කාලයක් වුණා. කොහොම වුණත් දැන් මෙම වාර්තාව පාර්ලිමේන්තුව සතු ලේඛනයක්. 

එම නිසා පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ, මේ පැනනැගුණු කරුණු සම්බන්ධයෙන් සියලූ මහජන නියෝජිතයින්ට විවෘත සංවාදයක් සිදුකර ගන්න අවස්ථාවක් හදලා එම වාර්තාවේ නිර්දේශයන්, විගණකාධිපති වාර්තාවේ ඇති නිර්දේශයන් ක‍්‍රියාවට නැගීම පිළිබඳ කඩිනම් යාන්ත‍්‍රණයක් සකස් කිරීමයි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සැලකිය යුතු තොරතුරු ප‍්‍රමාණයක් මේ වාර්තාවේ අඩංගුයි. 

මෙහි නිර්දේශ 16ක් තිබෙනවා. එහි හරය ලෙස තිබෙන්නේ මෙම බැදුම්කර වංචාව නිසා රටට සිදුවූ පාඩුව වගකියයුතු පාර්ශවයන්ගෙන් නැවත අයකර ගත යුතුයි. මෙවැනි මුල්‍ය අපරාධයක් රජයට සිදුකිරීමට වගකිවයුත්තෙක් ලෙස අපි හිටපු මහ බැංකු අධිපතිවරයා සහ ගනුදෙනුවට ඍජුව සම්බන්ධ වූ නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ගයන් ගත යුතුයි. 

මින් ඉදිරියට සිදුවන බැඳුම්කරවලදී සිදුවීම වැළැක්වීම සඳහා ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් අපි යෝජනා කර තිබෙනවා. ඒ සඳහා පාර්ශවන් කිහිපයක් ඉන්නවා. මුදල් මණ්ඩලය නියෝජනය කරන මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, (නිලධාරීන්ට සහ තැරුව්කාර සමාගමකට වංචාවක් සිදුකිරීමට ඉඩලැබුණේ මහ බැංකුවේ යාන්ත‍්‍රණයේ යම් අඩුපාඩුවක් නිසානම් එය සොයා බැලිය යුතුයි.) මහබැංකුව අධීක්ෂණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය, විධායකය ලෙසගත යුතු කි‍්‍රයාමාර්ග අපි යෝජනා කර තිබෙනවා.“ 

“නමුත් අපට පෙනෙන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යන බවකුයි. එහි අනුකාරක සභාවල වාර්තා සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා. මේ වන තෙක් පාර්ලිමේන්තුව කෝප් වාර්තාව සාකච්ඡා කිරීමට දිනයක් යොදා ගෙන නැහැ. ඒ නිසා තමයි මම පසුගියදා කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළේ පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායකතුමා කඩිනමින් පළමු පාර්ලිමේන්තු සැසිවාරය තුළම ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස. 

යම් හෙයකින් මෙම ක‍්‍රියාවලිය ප‍්‍රමාදවුවහොත් එසේ වන්නේ ඇයිදැයි ජනතාවට සැකයක් ඇතිවිය හැකියි. මේ නිසා තමයි, කෝප් වාර්තාව නිකුත් වීමෙන් පස්සෙ 2016.11.09වැනිදා අපි පක්ෂයක් විදිහට ගතයුතු කඩිනම් ක‍්‍රියාමාර්ග විදිහට යෝජනාවලියක් රට හමුවේ තැබුවේ. මේ බැඳුම්කර ගනුදෙනුවේ වරදකරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට අපට සැකයක් තිබෙනවා. “ යැයිද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

බැඳුම්කර ගනුදෙනුවේදී වංචාව ඔප්පු වී හමාරයි “අපි ආණ්ඩුවට කියන්නේ එළඹෙන නව වසරේ පාර්ලිමේන්තුවේ ප‍්‍රමුඛ පළමු කටයුත්ත හැටියට මෙම ගනුදෙනුව පිළිබඳ වාර්තාවට අදාළ විවාදය ගත යුතුයි. මේ වාර්තාවේ අයිතිය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අග‍්‍රාමාත්‍යවරයා විසින් මේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. ඔහුට ඒ පිළිබඳව නීතිමය වශයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග වෙනම කරුණක්. 

අපි විශ්වාස කරන්නේ මේ වාර්තාව ගැන තීරණ ගැනීමේ අයිතිය තිබෙන්නේ නීතිපතිවරයාට නොව පාර්ලිමේන්තුවටයි. නීතිපතිවරයාගෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගත යුතුදැයි තීරණය කළ යුත්තේද පාර්ලිමේන්තුවයි. කෝප් කමිටුව පූර්ණ පරීක්ෂණ යාන්ත‍්‍රණයක් නොවුණත් බැලූබැල්මටම මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇති බවත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනය බැඳුම්කර ගනුදෙනුවෙන් අයුතු ලාභයක් විශාල ලෙස උපයාගෙන තිබෙන බවත් ඔප්පු වී තිබෙනවා.

ඔවුන්ගේ මූල්‍ය වාර්තා අනුවත් ඒ  බව පැහැදිලියි. මේ නිර්දේශයන්ට පදනම්වන සියලූ ලේඛන මේ වාර්තාවේ අඩංගුයි. “ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad