ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි

ලංගම බස්වලට ගල් ප්‍රහාර - පොලිස් ආරක්ෂාව ඉල්ලයි
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් වන මගී පීඩා අවම කරමින් ධාවනයේ යෙදෙන ලංගම බස් රථවලට ඊයේ රාත්‍රියේ සහ අද (02) උදෑසන ප්‍රදේශ කිහිපයක දී ගල් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ලංගම බස් රථයකට එලෙස ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ත්‍රීකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ දී ද ලංගම බස් රථ 02කට ගල් ප්‍රහාර එල්ල වී තිබේ. තවද ත්‍රීකුණාමලයේ සිට තංගල්ල දක්වා ධාවනය කෙරෙන බස් රථයකට ඊයේ රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් මූතූර් සිට ත්‍රීකුණාමලයට පැමිණි බස් රථයකට අද උදෑසන ගල් ප්‍රහාර එල්ල වී ඇති බවත් වාර්තා වේ.

බස් රථවලට එල්ල වූ මෙම ගල් ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා  විසින් ධාවනය කරනු ලබන බස් රථවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ඉල්ලා ඇති බවද සඳහන්ය. මේ අතර තංගල්ල, හේනකඩුව ප්‍රදේශයේදී අද අළුයම ලංගම බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මහරගම ඩිපෝවට අයත් කතරගම සිට කොළඹ බලා ධාවනය වූ බස්  රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව තංගල්ල පොලීසිය පැවසීය.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බස් රථයට අලාභ හානි සිදුව තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය අද දිනයේ පැවැත්වෙන බස් රථ වර්ජනයට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව පොලීසිය පැවසුවේය.

මේ වනවිට එම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තංගල්ල පොලීසිය විසින් සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad