ප්‍රථම හරිත රෝහල මහනුවරින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

ප්‍රථම හරිත රෝහල මහනුවරින්

ප්‍රථම හරිත රෝහල මහනුවරින්

මෙරට පළමු හරිත රෝහල බවට මහනුවර මහ රෝහල පත් කිරීමට එම රෝහලේ පාලන අධිකාරිය සැලසුම් කර තිබේ.

මහනුවර මහ රෝහල දිවයිනේ ප්‍රධාන රෝහලක් බවට පත්ව ඇති බවත් දිනපතා පැමිණෙන රෝගීන් 3,000ක් ඇතුළුව 15,000ක පමණ ජනතාවක් පැමිණෙන බවත් එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

හරිත රෝහලක් බවට පත් කිරීමේ ප්‍රථම අදියර යටතේ මහනුවර මහ රෝහල පොලිතීන් භාවිතයෙන් තොර කලාපයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් එහි ප්‍රථම වැඩසටහන ඊයේ (21) ආරම්භ කළ බවත් ඒ මහතා කියාසිටියේය.

රෝහල් පරිශ්‍රය පොලිතීන් භාවිතයෙන් තොර කලාපයක් බවට පත් කිරීම ආරම්භ කරමින් ජනතාව දැනුවත් කිරීමේ සාමකාමී විරෝධතාවක් ඊයේ දහවල් මහනුවර මහ රෝහල් පරිශ්‍රය ඉදිරිපිට දී පැවැත්විණි.

එම රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියළු අංශ නියෝජනය කරමින් කාර්යය මණ්ඩල මෙම සාමකාමී විරෝධතාව සඳහා සහභාගී වී සිටියහ.

ඒ අනුව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් හා රෝහල් කාර්යය මණ්ඩලය එක්ව ජනතාව දැනුවත් කරමින් ඔවුන් විසින් රැගෙන එන ලද අනවශ්‍ය පොලිතීන් සියල්ල රැස් කළ අතර අත්‍යවශ්‍ය පොලිතීන් හා ප්ලාස්ටික් රෝහල් කලාපය තුල බැහැර නොකර යළි නිවසට රැගෙන යන ලෙස උපදෙස් දුන්නේය.

මහනුවර මහ රෝහලට පැමිණෙන 15,000ක පමණ වූ මහජනතාව විසින් දිනකට කිලෝ ග්‍රෑම් 5,000ක පමණ පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණයක් බැහැර කරන බවත් එම කසල හේතුවෙන් පසුගිය වසරේදී පමණක් 35 වතාවක් රෝහලේ අපහරණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට සිදුවූ බවත් කී රෝහල් අධ්‍යක්ෂකවරයා ඒ සඳහා රුපියල් ලක්ෂ 35ක් පමණ වැයවූ බවද කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ කෙසේ හෝ ජනතාව දැනුවත් කර ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත රෝහල බවට මහනුවර මහ රෝහල පත් කරන බවත් ඉදිරි වර්ෂ කිහිපය තුළදී එම ඉලක්කය ජය ගැනීමට හැකිවනු ඇති බවත්ය.

මහනුවර - කමල් සුරවීර

No comments:

Post a Comment

Post Bottom Ad