සාර්ක් සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 1, 2016

සාර්ක් සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

සාර්ක් සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

ලබන නොවැම්බර් මස 09-10 යන දෙදින තුළ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ 19වන සාර්ක් සමුළුව කල්තැබීමට තීරණය කර තිබේ.

පාකිස්ථාන රජය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් එරට නොමැති බැවින් එය දින නියමයක් නොමැතිව කල් තබන බවයි.

මේ අතර ඊයේ (30) ශ්‍රී ලංකා රජය නිවේදනය කළේ මෙවර සාර්ක් සමුළුව කැඳවීම පිණිස සියලු රටවල එකඟත්වයක් නොමැති බැවින් ශ්‍රී ලංකාවට එයට සහභාගි වීමේ හැකියාවක් නොමැති බවයි.

ජම්බුකාශ්මීර ප්‍රදේශයේ ඉන්දියානු පාලිත කඳවුරකට පාකිස්ථාන හමුදා විසින් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පසුව ඉන්දියාව හා පාකිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මතභේදකාරී තත්ත්වයක් උද්ගත විය.

මේ අනුව සාර්ක් කලාපීය බලවතා වශයෙන් ඉන්දියානු රජයද පාකිස්ථානයේ පැවැත්වෙන සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් මන්දෝත්සාහි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම මෙන්ම ඇෆ්ගනිස්ථානය හා භූතානයද සහභාගි නොවන වාතාවරණයක් පැවතිණි.

පාකිස්ථාන විදේශ අමාත්‍යංශය තවදුරටත් නිවේදනය කර ඇත්තේ සමුළුව පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි.
 
මේ අතර මෙවර සාර්ක් සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් කලාපයේ රටවල අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා රජය පවසයි.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පාකිස්ථානයේ මෙවර සාර්ක් සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් හටගෙන ඇති වාතාවරණය පිළිබඳ කණගාටු වන බවයි.

කෙසේවෙතත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතභේදකාරී තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුවට සහභාගී නොවීමට ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ භූතානය යන රටවල් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad