ජනපති යටතේ ඇති දැව සංස්ථාව බිඳවැටීමේ අවධානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

ජනපති යටතේ ඇති දැව සංස්ථාව බිඳවැටීමේ අවධානමක්

ජනපති යටතේ ඇති දැව සංස්ථාව බිඳවැටීමේ අවධානමක්

දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාගැනීමට කටයුතු කිරීම වහාම නතර කිරීමට මැදිහත් වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය දැව සංස්ථා සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කේ. පේ‍්‍රමසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක මේ බව සඳහන් වේ.

රු. මිලියන 2000 ක් දැව සංස්ථාවෙන් ලබා ගැනීමට කටයුතු සිදුවුවහොත් ආයතනයේ බිඳවැටීම වැළැක්විය නොහැකි බවත් එය සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිතතාවයට එල්ල වන මරු පහරක් බවත් එම ලිපියේ දැක්වේ.

එම ලිපිය පහතින්,

 

ගරු ජනාධිපති

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

රු. මිලියන 2000 ක් ලබා ගැනීම වහාම නතර කිරීමට මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි

මුදල් අමාත්‍යතුමා ආයතන ප‍්‍රධානීන් කැඳවා පවසා ඇති පරිදි ගරු ඔබතුමා යටතේ පවතින පරිසර හා පුනර්ජනනීය අමාත්‍යාංශයට අයත් රාජ්‍ය දැව සංස්ථාවෙන් රු. මිලියන 2000 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බව අප සංගමයට වාර්තා වී ඇත. 

මේ වනවිටත් දැව සේවක ගැටලූ බොහොමයක් දිගින් දිගටම නොවිසඳී පවතී. ඊට හේතු වී ඇත්තේ එම ගැටලූ විසඳීම සඳහා සැලකිය යුතු මුදලක් අවශ්‍ය බැවිනි. 

එවන් මොහොතක දැව සංස්ථාවෙන් රු. මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණකි. 

2006 වර්ෂයේ සිට ජීවන අංක දීමනාවට අදාල සේවක අර්ථසාධක දායක මුදල් බැර කර නැත. ඒ යටතේ විශ‍්‍රාමිකයන්ට හිමි මුදල් ලබාදීම මේ දක්වා සිදුකර නැත. අනියම්, දෛනික සේවකයින් ස්ථිර කර නැත. වසර 25 ක සතුටුදායක සේවයක් සපුරන ලද සේවකයින් සඳහා පිරිනමන රන් තිළිණ ප‍්‍රදානය දිගින් දිගටම ප‍්‍රමාද කර ඇත. වසර කිහිපයක සිට පවතින වැටුප් විෂමතා ගැටලූ විසඳා නැත. එමෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් ගෙවා නැත. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා යන්ත‍්‍රසූත‍්‍ර අලූත්වැඩියා කටයුතු වලට හා නව යන්ත‍්‍රසූත‍්‍ර මිලදී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් අවශ්‍ය වේ. ගොඩනැගිලි අලූත්වැඩියාව හා රථවාහන අලූත්වැඩියාව සඳහා අවශ්‍ය මුදලත් එසේමය. අඩි 5000 න් ඉහල දැව හෙලීම් නතර කර ඇත. ඒ නිසා සැලකිය යුතු ලෙස ආදායම් අඩු වී ඇත. 

කරුණු එසේ වන හෙයින් රු. මිලියන 2000 ක් දැව සංස්ථාවෙන් ලබා ගැනීමට කටයුතු සිදුවුවහොත් ආයතනයේ බිඳවැටීම වැළැක්විය නොහැක. එය සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිතතාවයට එල්ල වන මරු පහරකි. එයට අප සංගමයේ දැඩි විරුද්ධත්වය ප‍්‍රකාශ කර සිටිමු.

එබැවින් ඒ කෙරෙහි අවධානය යොමු කර දැව සංස්ථාවෙන් රු. මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාගැනීමට කටයුතු කිරීම වහාම නතර කිරීමට මැදිහත් වන ලෙස ඉතා  ඕනෑකමින් ගරු ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර ඒ සම්බන්ධව ගනු ලබන පියවර සමගින් අප සංගමය දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි,

මෙයට, 

කේ. පේ‍්‍රමසිරි 

ප‍්‍රධාන ලේකම්

No comments:

Post a Comment

Post Bottom Ad