අද වනවිට ශ්‍රී ලංකාවට ලැබෙන එකම ආදායම වී ඇත්තේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන මුදල් බවත් ඒ හේතුවෙන් මෙරට කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා යාම නතර කළ නොහැකි බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මේ බව කියාසිටියේ බීබීසී සංදේශය සමග පැවැත්වූ සාකච්ඡාවක දීය. කුමන අවස්ථාවක හෝ රජය ඇතුළු ඇමති මණ්ඩලය කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීම නැවැත්වීමට කටයුතු කළහොත් තමා ඉතා කැමැත්තෙන් ඊට එකඟ වන බව කී අමාත්‍යවරිය එය කළ නොහැක්කේ කෘෂිකර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය ඇතුළු ආදායම් මාර්ග බිඳ වැටී ඇති තත්ත්වයක අද රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ විගමනික ශ්‍රමිකයින් නිසා බවයි.
ඒ පිළිබඳව කළ විමසීමේ දී ඇය කියාසිටියේ රටේ සියලු කාන්තාවන්ට රැකියා සඳහා විදේශ ගතවීමට අඩු වයසක් තීරණය කිරීමෙන් අඩු වයසක දී වැඩි මුදලක් උපයා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන බවත් ඉන් යහපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ද ලැබෙන බවයි. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ කාන්තාවන් විදේශ ගතවීමේ ක්‍රමවේදය යළි විධිමත් ලෙස සකස් කළ යුතුව ඇති බවයි.
No comments:
Post a Comment