කැළණිය සහ කොලොන්නාව ආයෙත් අවදානමේ - ජල මට්ටම වැඩිවන ලකුණු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 20, 2016

කැළණිය සහ කොලොන්නාව ආයෙත් අවදානමේ - ජල මට්ටම වැඩිවන ලකුණු (VIDEO)

කොළඹ නගරයට ඇති වූ ගංවතුර තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා  අවශ්‍ය  මුදල් ලබාදීමටත්, පවතින තත්ත්වයට මුහුණදීම සඳහා රජය සම්පූර්ණ වැඩපිළවෙළක් යොදවා ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

ඔහු මේ බව සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවක දීය. මේ අතර කැළණිය සහ කොලොන්නාව ප්‍රදේශවල ගං වතුර මට්ටම තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබදව සැලකිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර තිබු නායයාමේ අවධානම තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල සහ කලුතර දිස්ත්‍රික්වලට නිකුත්කල නාය යාමේ අවදානම තවදුරටත් බල පැවැත්වේ.

කැළණි ගඟේ - නාගලගම් වීදිය ජල මාපකයේ අගය ඊයේ(19) පස්වරුවේ උපරිම අගයට ළඟාවිය. ඒ අනුව ජලයෙන් යටවූ කොළඹ ප්‍රදේශ ගණනාවකම ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබේ. තොටළඟ, කැළණිමුල්ල, සේදවත්ත, වැල්ලම්පිටිය, කොළොන්නාව, අංගොඩ, ඇතුලූ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් අදත් ජලයෙන් යටවී ඇත. 

සේදවත්ත ප්‍රදේශය ජලයෙන් යටවී ඇති නිසා ප්‍රදේශවාසීන් පෑලියගොඩ - නව කැළණි පාලම මත රැඳී සිටින බව වාර්තා වේ.  එමෙන්ම මීතොටමුල්ල කුණු කන්ද අසළ ජීවත්වන පවුල් ගං වතුර හේතුවෙන් අපහසුතා රැසකට ද මුහුණදී සිටී. කොළොන්නාව, සේදවත්ත, වැල්ලම්පිටිය ඇතුලූ ප්‍රදේශ ගණනාවක අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් ගුවනින් සහන සැළසීමට ගුවන් හමුදාව ඊයේ දිනයේදී පියවර ගෙන තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad