අරණායක කන්ද නායයද්දි ජීවිත බේරන්න ගිහින් පස්යට සැගවුණු එරංගගේ කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 30, 2016

අරණායක කන්ද නායයද්දි ජීවිත බේරන්න ගිහින් පස්යට සැගවුණු එරංගගේ කතාව

අරණායක සාමසර කන්දේ පස් යට සැඟව ගිය ජීවිත ගැන තවමත් තොරතුරක් සොයාගන්නට නැත. එදා රුදුරුව මහා විනාශයක් කරමින් පහළට ආ කන්ද අද නිසොල්මන්ව සිටින අයුරු දකිමින් සියගණන් ගම්වැසියන් තවමත් තමන්ගේ ලේ නෑයින් සොයා සෝසුසම් හෙළමින් සිටී.

එලෙස එදා සාමසර කන්දේ පස්යට සැඟව ගිය තවත් එක් අයෙක් වූයේ එරංග කුසුම්සිරි වේ. ඔහු සංවර්ධන නිලධාරියෙකි. වර්ෂාව නිසා ඇතැම් රජයේ සේවකයින් නිවසට වී රාජකාරිය පැහැර හරිද්දී එරංග වර්ෂාව ගැන කිසිසේත්ම සිතුවේ නැත.

ඔහු දැඩි වර්ෂාව පවා නොතකමින් තමන්ට අයත් ප්‍රදේශයේ සංචාරය කළේ වැස්‌සෙන් විපතට පත්වූවන් සිටීනම් සොයා බැලීමටයි. තම සහෝදරයකු සමඟ යතුරුපැදියකින් ඔහු එම සංචාරයේ යෙදුණි.

එළඟපිටිය කන්ද අසලින් යන විට එරංග එම කන්දේ වෙනසක්‌ දුටුවේය. වහාම ඔහු තම සහෝදරයාට යතුරුපැදිය නවතන ලෙස පැවසුවේය. ගතවූයේ තත්පර ගණනකි. එළඟපිටිය කන්ද නාය යැමට පටන් ගත්තේ එරංගගේ දැස්‌ ඉදිරිපිටදීය. ක්‍ෂණිකව මහ පස්‌ කන්දට ගෙවල් දොරවල් යටවී යන අයුරු ඔහු දුටුවේය. කන්ද පාමුල සිටි ඔහුට පැන යැමට ඕනෑ තරම් වෙලාව තිබුණි. නමුත් එරංග එසේ කළේ නැත.

සිය ජංගම දුරකථනය අතට ගත් ඔහු කෑගල්ල දිස්‌ත්‍රික්‌ සහකාර ලේකම් සමන් අනුර මහතාට දුරකථන ඇමතුමක්‌ ගෙන පැවසුවේ මෙවන් වදනකි.

‘‘සර් එළඟපිටිය කන්ද නාය යමින් පවතිනවා. වහාම ඇම්බියුලන්ස්‌ හා රෝගීන් ගෙන එන්න වාහන එවන්න. පුළුවන්නම් චොපර් එකකුත් එවන්න‘‘ එරංගට අවසාන වශයෙන් පැවසීමට හැකිව ඇත්තේ එම වචන කිහිපය පමණි. සිත් පිත් නැතිව පැමිණි පස්‌ කන්දට ඔහුවද යටවී ගියේය.

එම තොරතුරු ලැබීමත් සමඟ ක්‍රියාත්මක වූ සහකාර ලේකම්වරයා අදාළ නිලධාරීන් දැනුවත් කර එම නිලධාරීහු සමඟ එම ස්‌ථානයට පැමිණ තිබුණි. ඒ වන විටත් කන්ද නාය යමින් තිබී ඇත. කන්ද නාය යන මොහොතේම එරංග පණිවුඩය ලබාදීම එම නිලධාරීන්ට ලොකු අස්‌වැසිල්ලක්‌ වී තිබුණි.

එම ස්‌ථානයට පැමිණි නිලධාරීහු එරංග ගැන සොයා ඇත. නමුත් එම නිලධාරියා ගැන කිසිදු තොරතුරක්‌ ලැබී නැත. ජංගම දුකරථනයට අවස්‌ථා ගණනකදී දුරකථන ඇමතුම් ලබාගත්තත් එය ක්‍රියාවිරහිත කර තිබුණි. දෛවෝපගත සිදුවීම වන්නේ ඉන් පසුයි. කන්ද නාය යැම නැවතුණ පසු එයට යටවූ පිරිස්‌ සොයා දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කළේය. 


එහිදී මුලින්ම සොයාගත් මෘත ශරීරය වූයේ එළඟපිටිය කන්ද නාය යන බව මුලින්ම පැවසූ සංවර්ධන නිලධාරි කුසුම්සිරිගේ මෘත ශරීරයයි. කන්ද නාය යන පණිවුඩිය පවසා අන්තිම වරටත් තම රාජකාරිය අකුරටම සිදුකළ මෙම සංවර්ධන නිලධාරියා මුළු මහත් රාජ්‍ය සේවකයන්ටම ලබා දුන්නේ මහඟු ආදර්ශයකි.

No comments:

Post a Comment

Post Bottom Ad