ජනපති හා වියට්නාම අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 27, 2016

ජනපති හා වියට්නාම අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා  

ජනපති හා වියට්නාම අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා  
ශී‍්‍ර ලංකාව සමග කෘෂිකර්ම, කර්මාන්ත, වෙළෙඳ සහ ආයෝජන ඇතුළු සියලු ක්ෂේත‍්‍රයන්හි පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගනිමින් දෙරට අතර සමීප සබඳතා ගොඩනගා ගැනීමට වියටිනාමය කැමැත්තෙන් සිටින බව වියට්නාම අග‍්‍රාමාත්‍ය Ngyuyn Xuan Phuk මහතා පවසයි.

ජී - 7 සමුළුවට සහභාගීවීම සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ වියට්නාම ආග‍්‍රමාත්‍ය Ngyuyn Xuan Phuk මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (26) පස්වරුවේ ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වුණු අතර එහිදී වියට්නාම අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර කෘෂි සහ තාක්ෂණික ක්ෂේත‍්‍රයන්හි සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ගැනීමට වැඩසටහන් රැසක් ඉදිරියේදි කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බව වියට්නාම අග‍්‍රාමාත්‍යවරයා පැවසී ය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ අද ආයෝජන අවස්ථා සඳහා ශී‍්‍ර ලංකාව ඉතා සුදුසු රටක් බවත් ශී‍්‍ර ලංකාවට පැමිණ නොබියව ආයෝජන සිදු කරන ලෙස තමා වියට්නාම ආයෝජකයින්ට ආරාධනා කරන බවත්ය.

කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ සිදු කළ නිල සංචාරය පිළිබඳවද සිහිපත් කළ ජනාධිපතිවරයා කෘෂි ආර්ථිකයේ තාක්ෂණික විප්ලවයක් සිදු කළ රටක් ලෙස වියට්නාමය සතු තාක්ෂණික දැනුම බෙදා හදා ගැනීම තුළින් ශී‍්‍ර ලංකා ආර්ථිකයට ප‍්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිවනු ඇති බව ද ප‍්‍රකාශ කළේය.

නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී ශී‍්‍ර ලංකාව සමග පැවැත්වූ සාකච්ඡා පිළිබඳව මෙහිදී සිහිපත් කළ වියට්නාම අග‍්‍රාමාත්‍යවරයා ශී‍්‍ර ලංකාව කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් වියට්නාමයට ලබාදෙන සහයෝගයට ද සිය ස්තූතිය පළ කර සිටියේය. 

මුහුදු සීමාවල ආරක්ෂාව සඳහා ශී‍්‍ර ලංකාවේ දායකත්වය පිළිබඳ අදහස් දක්වමින් වියට්නාම ආග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව මුහුදු මාර්ගවල ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය තවදුරටත් සහතික කිරීම සඳහා ශී‍්‍ර ලංකාවට සහ වියට්නාමයට සමීප සහයෝගයකින් කටයුතු කළ හැකි බවයි.

නුදුරු දිනකදීම නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය ද වියට්නාම අග‍්‍රාමාත්‍යවරයා ඉතා සතුටින් යුතුව පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad